ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ඇති වූ සිද්ධිය දැන් රටම කතා කරන මාතෘකාවක් වෙලා.

කෙසේවෙතත් ඊට අදාළ නඩුව අද ගල්කිස්ස අධිකරණයේදී කැඳවනු ලැබුවා.

එහිදී අධිකරණය නියෝග කළේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අදාළ කොස්තාපල්වරයා ඇප මත මුදා හරින ලෙසයි.

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී නීතිඥවරයෙකු සමග ඇති වූ බව කියන සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් කොස්තාපල්වරයා අද ඇප මත මුදා හැරියා.

අදාළ පොලිස් කොස්තාපල්වරයා බන්ධනාගාර නිලධාරීන් විසින් ගල්කිස්ස අධිකරණය වෙත පෙරවරුවේ රැගෙන එනු ලැබුවා. එම අවස්ථාවේ සිවිල් සංවිධාන ඇතුළු පිරිසක් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවකද නිරත වුණා.

කෙසේවෙතත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඇප මත මුදාහරින ලෙසට අධිකරණය නියෝග කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු දර්ශාන් කානිල් පැවසුවේ.

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයෙන් නීතිඥවරයෙකුගේ මෝටර් රථයක් පිටතට ගැනීමේදී ඇතිවූ සිද්ධියක් මුල් කර ගනිමින් අදාළ පොලිස් නිලධාරියා විසින් නීතිඥවරයාට පහර දුන් බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවයි පොලීසිය පැවසුවේ.

එම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ගල්කිස්ස අධිකරණයට පසුගියදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

පොලිස් නිලධාරියා වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළද දැඩි කතාබහක් මතු වුණා.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිසි ආකාරයෙන් ක්‍රියා කළේ දැයි සෙවීම සඳහා විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා.

ඒ, පොලිස්පතිවරයාගේ නියමයෙන්.

ඒ අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය එම විමර්ශනය සිදු කරන බවයි පොලීසිය පැවසුවේ.

ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පූර්ණ විමර්ශනයට අදාළව සීසීටීවී දර්ශන ලබා ගැනීමට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය ඊයේ ගල්කිස්ස මූලස්ථාන පොලිසියට අවසර ලබා දී තිබුණා.

ඒ, ගල්කිස්ස මූලස්ථාන පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරික්ෂක එච් ටී එම් තුෂාර මහතා ස්ථාන මාරු කර තිබෙනවා.

වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා ඔහු ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී පසුගියදා නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ඇතිවූ සිද්ධිය මුල් කරගෙන ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරික්‍ෂකවරයා ස්ථාන මාරු කර ඇති බවයි වාර්තා වුණේ.