ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ටි්‍රපොඩි, මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ හෙට සිට ලබන 05 වන දින දක්වා ඇය එම සංචාරයට එක්වන බවයි.

දශකයකට ආසන්න කාලයකට පසු ඉතාලියේ රාජතාන්ත්‍රික නිලධාරියෙකු ශ්‍රී ලංකාව වෙත සිදු කෙරෙන ඉහළම මට්ටමේ සංචාරය මෙය වන බවද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවා.

මෙම සංචාරය අතරතුරදී ඉතාලි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සමඟ එක්ව ශ්‍රී ලංකා - ඉතාලි දේශපාලන උපදේශන සමාරම්භක සැසියේ සම සභාපතිත්වය දැරීමට නියමිතව තිබෙනවා.

දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමද ඇයගේ මෙම සංචාරය අතරතුරදී සිදු කිරීමට නියමිතයි.

ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා.