හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවකට අදාලව හිටපු අමාත්‍යවරයා අද දිනයේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්. මාතර එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව එම නඩුව පවරා තිබෙනවා.
එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණය වෙත කරුණු දක්වමින් කියාසිටියේ බැසිල් රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් විදෙස්ගතව ප්‍රතිකාර ලබන බවයි.

ඒ අනුව ඔහු අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටින බව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් නීතිඥවරුන් දන්වා සිටියා.

කෙසේවෙතත් දිගින් දිගටම බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය මග හරිමින් සිටින බැවින් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමටයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය එහිදී නියෝග කර ඇත්තේ.