හෝර්මුස් සමුද්‍ර සන්ධියේ බලය අත්පත් කරගැනීම වෙනුවෙන් අමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් මේ වන විට අතිශය උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

අමෙරිකානු හමුදා අඛණ්ඩව හයවන දිනටත් ඉරානය ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ බවයි අමෙරිකානු මධ්‍යම අණදෙන බලකාය හෙවත් ‘සෙන්ට්කොම්‘ ආයතනය පවසන්නේ.

ඉරාන හමුදා ශක්තිය දුර්වල කිරීම සදහා මෙම ප්‍රහාර සිදුකරන බව ද ඔවුන් කියා සිටියා.

මේ අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය වැටලීමේ පියවරක් ලෙස අමෙරිකානු මැරීන් භටයින් ඕමාන් බොක්කේදී තෙල් ප්‍රවාහන නෞකාවකට බලහත්කාරයෙන් ඇතුළු වී තිබෙන බවයි BBC ප්‍රවෘත්ති සේවය පවසන්නේ.

එමෙන්ම, මුහුදු සීමාව උල්ලංඝනය කිරීමට උත්සාහ කළ තවත් වෙළඳ නෞකා තුනක් හරවා යැවීමට ඇමරිකානු හමුදා පියවර ගෙන ඇතැයි ද BBC ප්‍රවෘත්ති සේවය පවසනවා.

එසේ තිබියදී ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකානු මිසයිල ප්‍රහාර ඉරානයේ කෙෂ්ම් දූපතට, බන්දාර් අබ්බාස් නගරයට සහ බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරය ආසන්න ප්‍රදේශවලට පතිත වූ බවයි.

හෝමොස්ගන් පළාතේ පිහිටි ප්‍රධාන පාලම් දෙකකටද ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වනවා.

ඉන් එක් පාලමකට හානි සිදුව ඇති බවයි BBC ප්‍රවෘත්ති සේවය පළකල වාර්තාවේ දැක්වෙන්නේ.

ඉරානයේ පාලම් දෙකකට මෙලෙස අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇත්තේ ඉරානය වහාම සාකච්ඡා මේසයට නොපැමිණියහොත් එරට පාලම් සහ බලාගාර වැනි සිවිල් යටිතල පහසුකම්වලට ද ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබියදීයි.

කෙසේවෙතත්, මෙලෙස සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කිරීම යුද අපරාධයක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් පෙන්වා දෙනවා.

මේ අතර පවතින උණුසුම් තත්ත්වය හමුවේ වුවද, ඇමරිකානු ජනාධිපතිවරයා තවමත් ඉරානය සමඟ සාකච්ඡා කිරීමට කැමැත්තෙන් පසුවන බවයි ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් කියා සිටියේ.

අමෙරිකානු නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට ඉරානයට ඉඩ දිය නොහැකි නමුත්, රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට අමෙරිකාව සැමවිටම සූදානම් බව ඇය අවධාරණය කළා.

කෙසේවෙතත් ඉරානයේ ප්‍රධාන සාකච්ඡා නියෝජිත මොහොමඩ් බගර් ගාලිබාෆ් පවසන්නේ තම රටට වාසිදායක නොවන කිසිදු එකඟතාවයකට ඉරානය එලඹෙන්නේ නැති බවයි.

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කරගැනීම ඉරානයේ ජාතික ආරක්ෂාවට අතිශය වැදගත් බවද ඔහු අවධාරණය කළා.

මේ අතර, පසුගිය 2024 දෙසැම්බර් මාසයේ සිට ඉරාන අත්අඩංගුවේ පසුවූ ඇමරිකානු කාන්තාවක වන ‘ඩීනා කරාරි‘ නිදහස් කිරීම සම්බන්ධයෙන් නැවත මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඇය නිදහස් කිරීම පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ප්‍රසාදය පළ කර තිබුණද, ඉරාන අධිකරණ අංශ පවසන්නේ කිසිදු ඇමරිකානු සිරකරුවෙකු මෙතෙක් නිදහස් කර නොමැති බවයි.