දොළොස් හැවිරිදි පාසල් සිසුවෙකු විද්‍යාලයේ ගණිතාගාරය තුළදී අපයෝජනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක ගුරුවරයෙකු සැප්තැම්බර් මස 08 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කර තිබෙනවා. ‎ ‎මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට තවදුරටත් නියෝග කරනු ලැබුවා. ‎ ‎මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක ගුරුවරයෙකු වන තිරප්පනේ ඇතුන්ගම පදිංචි මලවි ආරච්චිගේ සුසල් සමන්ත නැමැති විවාහක ගුරුවරයෙකි. ‎ ‎මෙම සැකකාර ගුරුවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක ඒ. සී. දයානන්ද මහතා පැවසුවේ තමන් අධ්‍යාපනය ලබන පාසලේ ගුරුවරයකු විද්‍යාලයීය ගණිතාගාරය තුළදී අපයෝජනය කළ බව පවසමින් අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක දොළොස් හැවිරිදි පිරිමි දරුවෙකු සිය දෙමාපියන් සමග පැමිණ පොලිසියට පැමිණිලි කළ බවයි. ‎ ‎ඒ අනුව මූලික විමර්ශන මෙහෙයවා සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගත් බවද. අධිකරණයට කියා සිටි උප පොලිස් පරීක්ෂකවරයා මෙම අපරාධය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අයැද සිටියා. ‎ ‎සැකකාර ගුරුවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජ කරුණා මහතා අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ සිය සේවාකයාට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. ඒ අනුව ඔහු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසද නීතිඥවරයා ඉල්ලා සිටියා. ‎ ‎දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර ගුරුවරයා ඇප මත මුදා හරින්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරමින් සැකකාර ගුරුවරයා සැප්තැම්බර් මස 08 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කෙරුණා. ‎ ‎පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිශානී සෙනවිරත්න මහත්මියගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක ඒ. සී. දයානන්ද මහතා පෙනී සිටි අතර සැකකාර ගුරුවරයා වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා පෙනී සිටියා. ‎ ‎මෙම අතවරය කිරීමේ සම්බන්ධයෙන් දොළොස් හැවිරිදි පාසල් සිසුවා මුලින්ම මේ පිළිබඳව තම දෙමාපියන් සමග ගොස් විද්‍යාලයේ විදුහල්පතිවරයා දැනුවත් කර ඇති අතර අනතුරුව විදුහල්පතිවරයාගේ උපදෙස් මත අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා. ‎ ‎පසුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ උපදෙස් මත මේ පිළිබඳව දරුවා සහ ඔහුගේ දෙමව්පියන් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයාට පැමිණිලි කර ඇති අතර ඉන් පසුව ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත මෙලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කොට තිබෙනවා. ‎ ‎මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගුරුවරයකු වන සුසල් සමන්තගේ රාජකාරි වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලෙස උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ‎ ‎මීට අමතරව සැකකාර ගුරුවරයා සම්බන්ධයෙන් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත ආයතන මට්ටමින් තවත් විනය පරීක්ෂණයක් අරඹා තිබෙනවා.