බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අම්පාර, මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල පස්වරු 02.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවද අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ සඳහන්. මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, ලබන 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේ දහවල් 12.09ට රාගම, කිරිඳිවැල, රුවන්වැල්ල, නාවලපිටිය සහ ලු‍ණුගල ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.