ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව රදවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැදවුම් නියෝග බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්‍රීආරච්චි මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම ජූනි මස 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ලක්මාලී කරුණානායක මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැදවුම් නියෝග තව දුරටත් දීර්ඝ කර නොමැති බවත් එය මෝසමක් මාර්ගයෙන් අධිකරණය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවත් සදහන් කළා.
අත් අඩංගුවට ගත් මෙම සැකකරුගේ රැදවුම් නියෝග අවසන් කර ඔහු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවත් ඇය සඳහන් කළා.
එම නිසා මෙම පෙත්සම තව දුරටත් පවත්වාගෙන යාම පල රහිත බවත් ඇය පෙන්වා දුන්නා.
එම අවස්ථාවේදී නීතිපතිවරයා පෙත්සම්කාර කත්‍රීආරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රැදවුම් නියෝගය දීර්ඝ නොකළද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තව දුරටත් නඩුව පවත්වාගෙන යාම සිදු වන බව සඳහන් කළා.
එම නිසා මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය සඳහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ යටතේ චෝදනා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් තමාට ප්‍රකාශයක් සිදු කළ නොහැකි බව සඳහන් කළා.
ඒ අනුව මෙම නඩුකරයට අදාළ සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් විනිසුරු වරයා මෙම නඩුකරය යළි ජූනි මස 10 වනදා කැඳවන ලෙස නියෝග කළ අතර එදිනට පෙර සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා අවසර ලබා දුන්නා.




