ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ දොළොස් වන තරඟයේ ජය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ ඕමාන් කණ්ඩායම ලකුණු 21කින් පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 188 රැස් කළා. ඉන්දීය කණ්ඩායම පළමු කඩුලු තුන ලකුනු 73 ඇතුළත බිඳ හෙළීමට ඕමාන් කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් වුණා. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අභිෂේක් ශර්මා පන්දු 15ක් තුළදි ලකුණු 38ක් ලබා ගත් අතර සංජු සැම්සන් පන්දු 45ක් තුළදි ලබාගත් ලකුණු සංඛ්‍යාව 56ක්. තිලක් වර්මා ලකුනු 29ක් රැස් කළා. ජයග්‍රාහී ලකුණු 189ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕමාන් කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුලු 04ක් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 167ක් පමණයි. ඕමාන් කණ්ඩායමේ ආරම්භක සබඳතාවය ලකුනු 56ක් තුළදී බිඳ හෙළීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා. කෙසේවෙතත් යළිත් දෙවන කඩුල්ල සඳහා ඕමානය ලකුනු 56ක වේගවත් සබඳතාවයක් පවත්වමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී බලාපොරොත්තුව තවදුරටත් ප්‍රමාද කළා. ඕමාන් කණ්ඩායම වෙනුවෙන් අමීර් කලීම් පන්දු 46කදී වේගවත් ලකුණු 64ක් ලබාගත් අතර හමාඩ් මිර්සා පන්දු 33ක් තුළදී ලකුනු 51ක් රැස් කළා. කෙසේවෙතත් ඕමාන් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 04 පමණක් දැවි ලබා ගැනීමට හැකිවුණේ ලකුනු 167ක් පමණයි. ඒ අනුව ඉන්දියානු කණ්ඩායම ආසියානු කුසලාන පන්දුවාර විස්ස තරඟාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අපරාජිතව ඉදිරියට යාමට සමත් වුණා. මෙම තරඟය පැවැත්වීමට පෙරම ඉන්දීය කණ්ඩායම සුපිරි සිව් දෙනාගේ වටයට සුදුසුකම් ලබා තිබුණා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.