ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමට පහසුම ප්‍රවේශයක් ලෙස සංචාරක කර්මාන්තය හඳුනාගෙන තිබුණද ඒ වෙනුවෙන් ප්‍රමාණාත්මක ප්‍රවර්ධන වැඩසටහන් තවමත් ක්‍රියාත්මක නොවන බව සංචාරක කර්මාන්තකරුවන් පවසනවා.
තවදුරටත් මුහුදු සංස්කෘතිය හෝ වන සම්පත පමණක් ප්‍රවර්ධනය කිරීමෙන් ශ්‍රී ලංකාවේ අපේක්ෂිත සංචාරක ඉලක්ක සපුරා ගැනීමට නොහැකි බවයි ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමය වෙනුවෙන් එහි සභාපති අශෝක හෙට්ටිගොඩ මහතා පැවසුවේ.
සංචාරක කර්මාන්තය සඳහා සිදු විය යුතු නවීකරණයන් සහ ප්‍රවර්ධන වැඩසටහන් තවදුරටත් මගහැර සිටින්නේ නම් සංචාරක ක්ෂේත්‍රය බරපතල අවධානමකට මුහුණ දෙනු ඇතැයිද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත පෙන්වා දෙනවා.
මහ බැංකු දත්තවලට අනුව, 2026 අප්‍රේල් මාසයේදී සංචාරක ආදායම සියයට 39 කින් පහත වැටී ඇති අතර එය ඇමරිකානු ඩොලර් මිලියන 157යි දශම 1 ක් ලෙස සටහන් වනවා.
ලෝක දේශපාලන අස්ථාවරත්වය, විශේෂයෙන්ම පසුගිය පෙබරවාරි අග භාගයේදී ආරම්භ වූ ඇමරිකා - ඊශ්‍රායල සහ ඉරාන ගැටුම් හේතුවෙන් ගෝලීය සංචාරක ක්ෂේත්‍රයට එල්ල වූ බලපෑම මීට ප්‍රධාන හේතුවක්.




