හිටපු අමාත්‍ය චන්ද්‍රාණී බණ්ඩාර මහත්මියට එරෙහිව “දූෂණ” චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව යළි ලබන 28 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුර සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන භාරදීම සඳහා මෙම නඩුව යළි ලබන 28 වනදා කැඳවන ලෙස මහාධිකරණ විනිසුරු වරයා නියෝග කළා.

විත්තිකාර හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ චෝදනා 11 ක් එල්ල කර තිබෙනවා.

2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැතෙකුට වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළුව නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබෙනවා

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 08 දෙනකු නම් කර තිබෙන අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 25 ක් ද නඩුව සමග ඉදිරිපත් කර තිබෙනවා.