ඉතියෝපියාවේ හයිලි ගුබ්බි ගිනි කන්ද සක්‍රීය වීම හේතුවෙන් ඉන්දියාව ඇතුළ බටහිර ආසියානු කලාපයේ ගුවන් ගමන්වලට බාධා එල්ල වී තිබෙනවා.

හයිලි ගුබ්බි ගිනි කන්ද සක්‍රීය වීමත් සමග කිලෝ මීටර් 10කට වඩා වැඩි උසකට අළු සහ දුම විහිදී ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම දුමාරය රතු මුහුද හරහා දකුණු ආසියාව දෙසට දැවැන්ත අළු වළාකුළක් ලෙස පාවී ඒමත් සමග ගුවන් ගමන්වලට බාධා එල්ල වී තිබෙනවා.

කන්නූර් සිට අබුඩාබි දක්වා පියාසර කළ ඉන්ඩිගෝ ගුවන් යානයක් අහමදාබාද් වෙත හදිසියේ ගොඩබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

යේමනය, ඕමානය, ඉන්දියාව සහ පකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවල අළු සහ දුමාරය පැතිර යාම හේතුවෙන් අකාසා එයාර් කේ එල් එම් ඇතුළු තවත් ගුවන් සමාගම් කිහිපයක් ගුවන් ගමන් වාර රැසක් අවලංගු කර හෝ නැවත හරවා යවා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

ඉතියෝපියාවේ ඊසානදිග කලාපයේ පිහිටා ඇති හයිලි ගුබ්බි ගිනි කන්ද සක්‍රීය වී ඇත්තේ වසර 12,000ක පමණ කාලයකට පසුව බවටයි අනුමාන කෙරෙන්නේ.