පසුගිය මාස දෙක තුළ ළමා හිංසන පිළිබඳ පැමිණිලි දහසකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.
එහි නීතිය බලගැන්වීමේ අධ්යක්ෂ නීතීඥ සජීවනී අබේකෝන් මහත්මිය සඳහන් කළේ, පාසල් නිවාඩු සමයේ ළමුන් ගෘහස්ථ හිංසනයෙන් වළක්වා ගැනීමට මව්පියන් පියවර ගත යුතු බවයි.
"ළමයින්ගේ භාරය සහ ආරක්ෂාව පිළිබඳව පැමිණිලි තමයි වැඩිපුරම ලැබෙන්නේ ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි මාසයකට 600 ත් 1000 ත් අතර ලැබෙනවා. නමුත් මේ ජූනි, ජූලි මාසවලදී අපිට වාර්තා වෙන පැමිණිලි ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා, ඒ 1,100 ත් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. මේ පැමිණිලි අතරින් සාමාන්‍යයෙන් ගත්තහම වැඩිපුරම වාර්තා වෙන්නේ ළමයින්ව නොසලකා හැරීම, අත්හැර දැමීම, ඒ වගේම ළමයින්ව ශාරීරිකව සහ මානසිකව හිංසනයන්ට ලක් කිරීම, සහ භාරකරුවන්ගෙන් — ඒ කියන්නේ ළමයින්ගේ භාරය සහ ආරක්ෂාව දරන හිමිකරුවන් (දෙමව්පියෝ වෙන්න පුළුවන්, තාවකාලික භාරකරුවන් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් පාසලට ගියාම විදුහල්පතිවරු, ගුරුවරු වෙන්න පුළුවන්) — මෙන්න මේ වගේ ළමයින්ගේ භාරය හා ආරක්ෂාව පැවරී ඇති අයගෙන්ම ළමයින්ව ශාරීරික හා මානසික හිංසනවලට ලක්වීම් පිළිබඳ පැමිණිලි තමයි අපිට වැඩි වශයෙන් ලැබෙන්නේ. එක්කෝ ශාරීරික, මානසික හිංසන, එහෙමත් නැත්නම් ළමයින්ව නොසලකා හැරීම, අත්හැර දැමීම, නිසි ආරක්ෂාව සහ රැකවරණය නොසැපයීම. ඉතින් මේකට ගොඩක් වෙලාවට පවුල් ආරවුල් කියන එක බලපාලා තියෙනවා, ඒ වගේම ගෘහස්ථ ප්රචණ්ඩත්වය කියන එක බලපාලා තියෙනවා, දෙමව්පියන් දරුවෝ හදලා තමන්ගේ වගකීම් සහ යුතුකම් ඉෂ්ට කරන්නේ නැතුව අන්‍යයන්ගේ සබඳතාවලට යොමු වීම, එහෙමත් නැත්නම් තමන්ගේ පෞද්ගලික අරමුණුවලට යොමු වීමත් මේකට හේතුවක් වෙලා තියෙනවා. ඉතින් මේ සමාජ, ආර්ථික ප්‍රශ්නත් තිබෙනවා..."
නිවස තුළදී ළමුන් විවිධ ආකාරයේ අපයෝජනයන්වලට ලක්වන ප්‍රමාණය වැඩි වී ඇති බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්යක්ෂ නීතීඥ සජීවනී අබේකෝන් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ .
"සයිබර් හිංසනවලට ළමයින් යොමු වීමත් ඉතාම වැඩි වෙලා තියෙනවා, ළමයින් ඉතාම අනාරක්ෂිත ලෙස. ඒ කියන්නේ දැන් ඉස්සර නම් ගෙදරින් එළියට යනකොට දෙමව්පියෝ කිව්වා ගෙදරින් එළියට යන අයත් එක්ක පරිස්සම් වෙන්න කියලා. දැන් ගෙදර ඇතුලෙම ඉඳලා ළමයින්ව මේ සයිබර් හිංසන නිසා, ඒ කියන්නේ ගෙදර ඇතුලෙම ඉඳලා මේ සයිබර් අවකාශය තුළ සැරිසරන නොදන්නා පුද්ගලයන් නිසා ළමයින් නොයෙකුත් අපයෝජනවලට ලක්වීම් ගැන — ඒ කියන්නේ ඔවුන්ගේ නිරුවත් පින්තූර යවලා, ඊට පස්සේ සමහර අය ගේම්ස් (games) වලට ඇඩික්ට් (addict) වෙලා — ඒ වගේ පැමිණිලි අපිට ලැබෙනවා. ඒත් එක්කම තමයි මේ ළමා සැකකරුවනුත් වැඩි වෙලා තියෙනවා මේ සයිබර් අවකාශය තුළ. හේතුව තමයි මේ අවුරුදු 14 ත් 18 ත් අතර පිරිමි ළමයි, බොහෝ වෙලාවට මේ ගෑණු ළමයින්ගේ නිරුවත් පින්තූර, නිරුවත් වීඩියෝ ෂෙයාර් කරනවා. ප්‍රේම සබඳතා පවත්වල ඔවුන්ගේ දේවල්, ඒ දේවල් ඉල්ලගෙන ඒ නිරුවත් ඡායාරූප, වීඩියෝ වගේ දේවල් ඉල්ලගෙන ඔවුන් ෂෙයාර් කරනවා, තර්ජනය කරනවා, තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න හදනවා. ඉතින් අවුරුදු 12 ට වඩා වැඩි ළමයින්ට රටේ නීතිය බලපානවා. එතකොට ළමා වින්දිතයන් වෙනවා විතරක් නෙමෙයි මේ සයිබර් අවකාශය තුළ ළමයින්, ළමා සැකකරුවන් බවටත් පත් වෙනවා."




