බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය පැවසුවේ.
''දිවයිනට ඊසානදිග දිශාවෙන් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වෙලා තියෙන අඩු පීඩන කලාපය, ඉදිරි දින කිහිපයේදී තවදුරටත් වර්ධනය වෙනවා. ඒ වුණත් මේ පද්ධතියේ ඍජු බලපෑමක් ලංකාවට නැහැ. ඒ වෙත ඇදී යන සුළං ප්‍රවාහය නිසා දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතීවි. අද දිනය සලකපුවහම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගගුරුම් සහිත වැසි ඇතිවෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ අතරිනුත් සමහර ස්ථානවලට මිලිමීටර් 100ක විතර තද වැසි ඇතිවීමේ හැකියාව අද දිනයේ තියෙනවා. උතුරු මැද පළාතෙත්, ඒ වගේම මන්නාරම දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයකුත් ඇතිවෙන්න පුළුවන්. ඌව පළාතෙත්, ඒ වගේම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පස්සේ තැනින් තැන වැසි හෝ ගගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව අද දිනයේ තියෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, ඒ වගේම උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 දක්වා තරමක තද සුළං ඇතිවීමේ හැකියාව අද දිනයේ තියෙනවා.විශේෂයෙන්ම මතක් කරනවා, ගගුරුම් සහිත වැසි ඇතිවෙන අවස්ථාවලදී ඒ සමග ඇතිවෙන්න පුළුවන් තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවෙන අනතුරු අවම කරගන්න අවශ්‍ය පියවර ගන්න කියලා.''
මේ අතර කළු, කැළණි, නිල් සහ ගිං ගංගා ආශ්රිත ඇතැම් පහත් බිම් ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යටවී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ එල් එස් සූරිය බණ්ඩාර මහතා.
''ගංවතුර වැඩිවීමේ ප්‍රවණතාවය අඩු වුණත්, අද දවසේ වර්ෂාපතනය ලැබීමේ පූර්වකථනයන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ලබා දීලා තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව අතිශය සැලකිලිමත් විය යුතුයි. අත්තනගලු ඔයේ දූනමලේ ජල මට්ටම් කෙමෙන් වැඩිවීමක් තිබුණත්, ඇයත් වැඩිවීමේ ප්‍රවණතාවය ශීඝ්‍ර නැහැ. මහවැලි ගඟේ නාවලපිටිය ජල මට්ටම බොහෝ දුරට අඩු වෙලා තියෙනවා, සහ පේරාදෙණිය ජල මට්ටමත් ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. අනෙකුත් ගංඟාවල ජල මට්ටම ශීඝ්‍ර වැඩිවීම් හෝ එසේත් නැත්නම් ගංවතුර තත්ත්වයක් දක්වා වැඩිවීම් එතරම් දකින්නට නැහැ. එසේ වුණත්, අද දිනයේ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීමේ පූර්වකථනයක් තියෙන නිසා, ගින් ගඟ, නිල්වලා ගඟ, කළු ගඟ, කැලණි ගඟ, අත්තනගලු ඔය ඇතුළු ඒ ප්‍රදේශවල සහ මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශවල ඉතාම ඉහළ අගයක තියෙන්නේ මේ ගංගාවල ජල මට්ටම්. ඒ තත්ත්වය යටතේ ක්ෂණිකව ලැබෙන වර්ෂාපතනයත් සමග ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ පිළිබඳව දැඩි අවධානයෙන් ඉන්න කියලා ඉල්ලීමක්. ඒ වගේම, මේ වන විටත් ඇතැම් ස්ථාන - විශේෂයෙන්ම කළු ගඟ, කැලණි ගඟේ ඇතැම් ස්ථාන සහ නිල්වලා ගඟ සහ ගින් ගඟේ පහළ ප්‍රදේශ මේ වන විටත් ඇතැම් පහත් බිම් යට වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙනුත් ජනතාව ඉතාම සැලකිලිමත් විය යුතුයි. ගංවතුර තත්ත්වයකදී ලැබෙන වර්ෂාපතනයන් ක්ෂණිකව ලැබීමත් සමග නැවත ජල මට්ටම් ක්ෂණිකව වැඩිවීමේ හැකියාව තියෙනවා.''
අයහපත් කාලගුණ තත්ත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට ද බලපෑම් එල්ලවී තිබෙනවා. ඒ පිළිබද නවතම තොරතුරු යටියන්තොට නෙත් නිවුස් නියෝජිත නිහාල්සිරි ගම්ලත්ගෙන්.
ඊයේ දිනයට සමකාවීව මේ වන විට වර්ෂාව මඳක් අඩුවීමක් අපිට දැක ගැනීමට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි කැලණි ගඟ, රිටිගහ ඔය, සීතාවක ගඟ, වී ඔය මේ වන විට ජල මට්ටම මඳක් අඩුවී තිබුණා. අද දිනය පාසල් දිනයක් නිසාවෙන් දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් දෙකක් මේ වන විට වසා තැබීමට කලාප අධ්‍යක්ෂක එච්.එල්. හරිශ්චන්ද්‍ර මහතා කටයුතු කර තිබුණා. ඒ තමයි විශේෂයෙන්ම කැන්දල් ඔය දෙමළ විද්‍යාලය, ඒ වගේම මාලිබොඩ දෙමළ විද්‍යාලය වර්ෂාව නිසා මේ පාසල් දෙක නොපවත්වන බව ඔහු අප වෙත පැවසුවා. ඒ වගේමයි කාලගුණය අනුව සියලුම දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ සියලුම විදුහල්පතිවරුන්ට තීරණ ගැනීම සඳහා පාසල් පැවැත්වීමේ බලය ඔවුන් වෙත ලබා දී තිබෙන බව හරිශ්චන්ද්‍ර මහතා පැවසුවා මා වෙත. ඒ වගේම මේ වන විටත් වර්ෂාව මේ ප්‍රදේශයට ඇදහැලෙමින් පවතිනවා. යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල, දෙහිඕවිට ඒ වගේම බුලත්කොහූපිටිය යන ප්‍රදේශවල, සමස්තයක් කෑගල්ල දිස්ත්‍රික්කයේ සෑම ප්රදේශයකටම විටින් විට මඳ වැසි වැටෙන ආකාරයක් අපිට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරනවා කොළඹ - හැටන් මාර්ගය භාවිත කරන සියලුම රියදුරු මහතුන්ට ඉතාමත් කල්පනාකාරීව මෙම මාර්ගයේ ගමන් ගන්නා හැටියට. මෙම මාර්ගය ලිස්සා යන සුළු ස්වභාවයක් මේ වන විට තිබෙන බව සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් මා වෙත දැනුම් දුන්නා.''
ගාල්ල දිස්ත්‍රික්කයේ තොරතුරු නෙත් නිවුස් නියෝජිත රවීන්ද්‍ර චන්ද්‍රලාල්ගෙන්.
''මා මේ වන විට රැඳී සිටින්නේ ගාල්ල, බද්දේගම ජල මාපකය ආසන්නයේ. ඊයේ සවස වන විට මීටර් 3.5ක අගයක පැවැති ගංවතුර තත්ත්වය, මේ වන විට මීටර් 4.80 දක්වා ඉහළ නැග තිබෙනවා.කෙසේ නමුත්, ඊයේ රාත්‍රී කාලයේ මෙම ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාව පතිත වෙලා නැහැ; කඩින් කඩ වර්ෂාව පතිත වෙලා තිබෙන්නේ. මෙම ජල මට්ටම ඉහළ යාමට හේතුව තමයි, ගිං ගඟේ ඉහළ කොටස්වලට ඊයේ ජල මට්ටම ඉහළ ගොස් තිබුණා. එම ප්‍රදේශවලට පැවැති මහා වැසි නිසා, එම ජල කඳ ගිං ගඟේ පහළ ප්‍රදේශවලට ගලා ඒමත් සමග තමයි බද්දේගම ප්‍රදේශයේ මේ ආකාරයෙන් ජල මට්ටම ඉහළ ගොස් තිබෙන්නේ.''




