රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් කර තිබූ ඉල්ලීමකට අනුව එම සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද පෙරවරුවේ පැවැත්වුණා.
2022 වසරේදී කඩා වැටුණු මෙරට ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයට පත් කර ඇති බවත් එම ස්ථාවරත්වය පවත්වාගෙන යාම රජයේ මූලික අභිප්‍රාය බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහාය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද එහිදී ප්‍රකාශ කළා.
පුරවැසියාගේ යහපැවැත්මට සෞඛ්‍ය ක්ෂේත්රයක මනා පැවැත්මට අතිශය වැදගත් බවත් එය තම රජයේ මුලික අරමුණක් බවයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.
වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ට ලැබිය යුතු පහසුකම් කප්පාදු කිරිමට රජය බලාපොරොත්තු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා සහ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේදි සලකා බලන බවත් එහිදී සඳහන් කර තිබෙනවා.
ඔබ ඉල්ලන්නා - මම ලබාදෙන්නා බවට පත් නොවී සියලු දෙනා එක්ව රට ගොඩ නැගිය යුතුව ඇති බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, කම්කරු අමාත්‍ය, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුද, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
සාකච්ඡාවෙන් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා හදිසි විධායක සහ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පස්වරුවේ කැඳවා තිබුණා.
එහිදී එම සංගමය තීරණය කර ඇත්තේ ජනාධිපතිවරයා සමග ගැඹුරු සහ අවබෝධාත්මක සාකච්ඡාවක් සිදු කළද අවශ්‍ය ප්‍රතිඵල ලැබෙන තෙක් සිය වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.




