ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නවසීලන්ත සංචාරය "ඓතිහාසික" එකක් ලෙස හඳුන්වා තිබේ.

ඒ, ඔක්ලන්ඩ් නුවරට ළඟා වීමෙන් අනතුරුව ‘X’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමිනි.

වසර හතළිහකට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු නවසීලන්තයේ නිරත වන පළමු නිල සංචාරය මෙය වන අතර, ගුවන් තොටුපළ වෙත පැමිණ තමන්ව පිළිගත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන්ට මෝදි එහිදී විශේෂ ස්තූතියක් ද පුද කර සිටියේය.

"මීට සුළු මොහොතකට පෙර මා ඔක්ලන්ඩ් නුවරට ළඟා වුණා. ගුවන් තොටුපළේදී මා වෙනුවෙන් දැක්වූ උණුසුම් පිළිගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලක්සන් මහතාට ස්තූතිවන්ත වෙනවා. දශක හතරකට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු නවසීලන්තයට පැමිණි පළමු අවස්ථාව මෙය බැවින් මෙම සංචාරය සැබවින්ම ඓතිහාසිකයි," යැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

තමන් පිළිගත් අවස්ථාවේ දර්ශන සමාජ මාධ්‍ය වෙත එක් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලක්සන් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳව තමන් දැඩි බලාපොරොත්තු තබා සිටින බවයි.

එමෙන්ම ඔක්ලන්ඩ් හි පැවැත්වෙන ඉන්දීය ප්‍රජා හමුව ඇමතීමට ද තමන් සූදානමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

"අග්‍රාමාත්‍ය ලක්සන් සමඟ සාකච්ඡා පවත්වමින් ඉන්දු - නවසීලන්ත මිත්‍රත්වයේ සියලු ක්ෂේත්‍ර පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. එමෙන්ම හෙට දිනයේදී ඔක්ලන්ඩ් හි පැවැත්වෙන ප්‍රජා වැඩසටහනක් ඇමතීමට ද නියමිතයි," යනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහි සඳහන් කර තිබිණි.

සිකුරාදා දින ඔක්ලන්ඩ් නුවරට ළඟා වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් විසින් ඉතා සුහදශීලීව වැළඳ ගනිමින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සංචාරය සිදුවන්නේ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයාගේ නිල ආරාධනයකට අනුවය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරුන් දෙපළ ඔක්ලන්ඩ් නුවරදී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වෙමින් දෙරටේ සබඳතා පිළිබඳ පුළුල් සමාලෝචනයක යෙදීමට නියමිත බවයි. විශේෂයෙන්ම පසුගිය වසර දෙකක කාලය තුළ වෙළෙඳ, වාණිජ සහ ආරක්ෂක යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගෙන තිබේ.

මෙම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍ය මෝදි නවසීලන්තයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හමුවී අදහස් හුවමාරු කර ගැනීමට ද සැලසුම් කර ඇත.

මීට අමතරව, දෙරට අතර පවතින ශක්තිමත් මහජන සබඳතා තවදුරටත් විදහා දක්වමින්, එහි වසන විශාල ඉන්දීය ඩයස්පෝරා (විදේශගත ඉන්දීය ප්‍රජාව) සාමාජිකයන් පිරිසක් ඇමතීමට ද අග්‍රාමාත්‍යවරයා කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.