සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 150 කට ආසන්න වත්කම් හා දේපල අයථා ලෙස අත්පත් කර ගත්තේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විත්තිකාර මර්වින් සිල්වා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාට අද දින නඩු විභාගයට පෙනී සිටීමට අපහසු බව දැනුම් දුන්නා.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි මස 19 වනදා දක්වා කල් තැබුවා.

එදින සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.

2010 වසරේ සිට 2012 වසර දක්වා කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 150 කට අධික වත්කම් සහ දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.