ටෙස්ලා ප්‍රධානී එලොන් මස්ක් හට අමෙරිකානු ඩොලර් ටි්‍රලියන 1කට ආසන්න වටිනාකමක් ඇති වාර්තාගත වැටුප් පැකේජයක් ලබාදීමට ටෙස්ලා කොටස් හිමියන් විසින් අනුමතිය ලබාදී තිබෙනවා. එහි වඩා විශේෂත්වය වන්නේ ඔහුගේ මෙම වැටුප් පැකේජයට කොටස් හිමිකරුවන්ගෙන් සියයට 75ක්ම අනුමැතිය ලබාදීමයි. ඊයේ පැවති ටෙස්ලා සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබුණා.
දැනටමත් ලොව ධනවත්ම මිනිසා වන එලොන් මස්ක් හට පැවරෙන ප්‍රධාන වගකීම වන්නේ වසර 10ක් තුළ විදුලි මෝටර් රථ සමාගමේ වෙළඳපල වටිනාකම ඉහළම තත්ත්වයකට ඔසවා තැබීමයි. ටෙස්ලාහි වෙළඳපල වටිනාකම ඩොලර් ටි්‍රලියන 1යි දශම 4 සිට ඩොලර් ටි්‍රලියන 8යි දශම 5 දක්වා ඉහළ නැංවීම ඊට ඇතුළත්. ස්වයං-ධාවන “රොබෝටැක්සි” වාහන මිලියනයක් වාණිජ මෙහෙයුම් සඳහා ලබා ගැනීමද ඔහුට පැවරෙන වගකීමක්.
කෙසේවෙතත් මෙලෙස ඔහුට සුවිශාල වැටුපක් ලබාදීම සම්බන්ධයෙන් විවිධ විවේචන ද එල්ල වී තිබෙනවා. නමුත් ටෙස්ලා කොටස් හිමියන් පවසන්නේ මෙවැනි වැටුපක් අනුමත නොකළහොත් එලෝන් මස්ක් සමාගමෙන් ඉවත් විය හැකි බවයි. මේ මොහොතේ ඔහුව අහිමි කර ගැනීමට නොහැකි බවයි ටෙස්ලා කොටස් හිමියන් සඳහන් කළේ.