2019 වසරේ “ධර්ම චක්‍රයක්” සහිත ඇඳුමක් පැළඳ සිටියේ යැයි කාන්තාවක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම තුළින් හසලක පොලිසියේ ස්ථානාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මෙසේ අත්අඩංගුවට පත් කොලොන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අබ්දුල් රහිම් මසාහිමා නමැති කාන්තාවක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව අදාල අත්අඩංගුවට ගැනීම සිදුකළ හසලක පොලිසියේ එවක ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන නිශාන්ත විසින් සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් 30000/- ක මුදලක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවත් විනිසුරු මඩුල්ල නියම කළා.

එම වන්දි මුදල ගෙවීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ අරමුදල් හෝ පොලිස් සාමුහික අරමුදලේ මුදල් භාවිත නොකළ බවට පොලිස්පතිවරයා විසින් අධිකරණයට සහතිකයක් ලබාදිය යුතු බවටත් නියෝගයේ සඳහන් වුණා.

ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ 3(1) වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමේදී අනුගමනය කළ යුතු පැහැදිලි කිරීම් දැක්වෙන චක්‍රලේඛයක් නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව පොලිසි වලට නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියම කළා.

පෙත්සම් කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති හේවා මාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායිකාව ධර්ම චක්‍රයක් සහිත ඇඳුමක් පැළඳ සිටි බවට පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තද පසුව එය නැවක සුඛානමක් බවට කරුණු අනාවරණය වී ඇතැයි කියා සිටියා.

ඒ අනුව ඇය එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම නීතියට පටහැනි බවත් නීතිඥවරයා තර්ක කලා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නා.

2019 වසරේ මැයි මස 17 වනදා හසලක පොලිස් වසම තුළදී ධර්ම චක්‍රය සහිත ඇඳුමක් ඇඳ සිටියේ යැයි මෙම පෙත්සම්කාරිය අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට පොලිසිය විසින් කටයුතු කර තිබුණා.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් පොලිසිය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කාරිය විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.