දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඉන්දියාවේ රංචිහිදී පැවැත්වූ එම ශූරතාවලිය නිමාවට පත් වුණේ ඊයේ දිනයේදීයි.

එහිදී ශ්‍රී ලංකාව දිනාගත් රන් පදක්කම් සංඛ්‍යාව 16ක්. රිදී පදක්කම් 14ක් හා ලෝකඩ පදක්කම් 10ක් ද ශ්‍රී ලංකාව දිනාගනු ලැබුවා.

ඒ අනුව දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකාව දිනා ගත් සමස්ත පදක්කම් සංඛ්‍යාව 40ක්.

තරග ඉසව් රැසකදී ඉන්දියාවට කරට කර සටනක් දුන් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ පෙරමුණ අහිමිව ගියේ රන් පදක්කම් 4ක වෙනසකින් වීම විශේෂත්වයක් වුණා.

ඒ අනුව දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ ශූරයින් වූ ඉන්දියාව රන් පදක්කම් 20ක් දිනා ගත්තා.

එමෙන්ම රිදී 20ක් හා ලෝකඩ 18ක්ද දිනා ගැනීමට ඔවුන් සමත් වුණා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැරෙන්න වෙනත් කිසිදු රටකට රන් පදක්කමක් දිනාගැනීමට නොහැකි වීමද විශේෂත්වයක්.

නේපාලය රිදී පදක්කම් 02ක් දිනාගැනීම හැරෙන්න වෙනත් කිසිදු රටකට රිදී පදක්කමක් හෝ දිනාගැනීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

බංග්ලාදේශය ලෝකඩ පදක්කම් 03ක් සහ මාලදිවයින ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.

භූතානයට කිසිදු පදක්කමක් හෝ දිනාගැනීමට හැකි වූයේ නැහැ.

දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට ආසන්න පිරිසක් සහභාගි වුණා.