කලාපීය අභියෝග ජයගැනීමේදී නව දිල්ලිය අත්‍යවශ්‍ය සහකරුවෙකු වන බවත්, බටහිර ආසියානු අර්බුදය විසඳීමේ උත්සාහයන්හිදී ඉන්දියාව විශ්වාසවන්ත මිත්‍රයෙකු ලෙස විශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටින බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ජනාධිපති ට්‍රම්ප් මෙම අදහස් පළ කළේ ප්‍රංශයේ පැවැත්වෙන ජී-7 සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ පැවැත්වූ ඉහළ පෙළේ සාකච්ඡාවකින් අනතුරුවය.

එහිදී සාගර කලාපීය ආරක්ෂාව, ආර්ථික සහයෝගීතාව සහ ගල්ෆ් කලාපයේ වර්ධනය වෙමින් පවතින භූ-දේශපාලනික තත්ත්වයන් පිළිබඳව නායකයන් දෙපළගේ අවධානය යොමු විය.

බටහිර ආසියානු කලාපය තුළ ඉන්දියාවෙන් කිසියම් කාර්යභාරයක් අපේක්ෂා කරන්නේදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ, "ඔව්, මම අනිවාර්යයෙන්ම එහෙම බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඉන්දියාව සෑම ක්ෂේත්‍රයකදීම විශාල කාර්යභාරයක් ඉටු කරනවා. නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන තාක් කල් ඉන්දියාව ඉදිරියටම යනු ඇති" බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් දෙක අතර පවතින ශක්තිමත් පුද්ගලික සබඳතාව සහ ආයතනික ක්‍රියාකාරීත්වය අගය කළ අමෙරිකානු ජනාධිපතිවරයා, ද්විපාර්ශ්වික වෙළඳ සාකච්ඡාවල සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත්, දෙරටම වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට ඉතා ආසන්න මට්ටමක පසුවන බවත් අවධාරණය කළේය.

මෙහිදී වොෂින්ටනය මැදිහත් වී සිදුකරන රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන් අගය කළ අග්‍රාමාත්‍ය මෝදි, බටහිර ආසියාවේ සාමය ඇති කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් දරන උත්සාහය පැසසුමට ලක් කළ අතර ගල්ෆ් කලාපයේ සාමය ස්ථාවර වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව පැවසීය.

ගල්ෆ් කලාපයේ ස්ථාවරත්වයේ වැදගත්කම පෙන්වා දුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ගෝලීය ආර්ථිකයේ පැවැත්ම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව තැබීම අතිශය තීරණාත්මක බව ද සඳහන් කළේය.

මෙහි ඇති වැදගත්ම කරුණ නම්, නොසන්සුන්කාරී මුහුදු කලාපවල සේවය කරන වාණිජ නැව් කාර්ය මණ්ඩලවල ආරක්ෂාව වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා පෙනී සිටීමයි. විශේෂයෙන්ම ගල්ෆ් කලාපයේ පවතින නොසන්සුන්තාව හමුවේ ඉන්දීය නාවිකයින්ගේ ආරක්ෂාව පිළිබඳව ඔහු සිය දැඩි අවධානය යොමු කළේය.

ඉන්දීය නාවිකයින්ගේ සුභසාධනය සැමවිටම ඉන්දියාවේ ප්‍රමුඛතම කාර්යයක් බව තහවුරු කළ අග්‍රාමාත්‍යවරයා, ඉන්දීය නාවිකයින්ගේ ආරක්ෂාව අතිශය තීරණාත්මක බව තමන් විශ්වාස කරන බව ද තරයේ කියා සිටියේය.

කලාපය තුළ ගොඩනැගෙමින් පවතින නව සාමකාමී වටපිටාව යටතේ නාවිකයින්ගේ ආරක්ෂාව සඳහා ඉහළම ප්‍රමුඛතාවක් හිමිවනු ඇතැයි තමන්ට විශ්වාස බවද ඔහු වැඩිදුරටත් පැවසීය.