පාකිස්ථානයේ නීතිවිරෝධී කෝල් සෙන්ටර් වටලයි: චීන ජාතිකයන් ඇතුළු 212 ක් අත්අඩංගුවට
පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර ක්රියාත්මක වූ ජාත්යන්තර මාර්ගගත වංචා ජාලයකට සම්බන්ධ නීතිවිරෝධී ඇමතුම් මධ්යස්ථාන තුනක් වටලා චීන ජාතිකයන් ද ඇතුළුව පුද්ගලයන් 212 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පාකිස්තාන බලධාරීන් කටයුතු කර ඇති බව මාධ්ය වාර්තා කරයි.
පාකිස්තානයේ ජාතික සයිබර් අපරාධ විමර්ශන ඒජන්සිය විසින් ඉස්ලාමාබාද් හි E-11 සහ G-10 කලාපයන්හි පවත්වාගෙන ගිය මෙම නීතිවිරෝධී ඇමතුම් මධ්යස්ථාන ඉලක්ක කරගනිමින් මෙම වැටලීම් සිදුකර ඇත.
විදෙස් මාධ්ය වාර්තා කළ පරිදි, අන්තර්ජාලය ඔස්සේ සිදුකරන විවිධ කාර්යයන් සඳහා මුදල් ගෙවීමේ වංචා , ප්රේම සබඳතා වංචා සහ ගූගල් නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් සිදුකරන වංචාකාරී ක්රමවේද රැසක් මොවුන් විසින් භාවිත කර තිබේ.
මෙහිදී බහුලව සිදුව ඇති වංචා සාමාන්යයෙන් ආරම්භ වන්නේ අසත්ය අන්තර්ජාල රැකියා අවස්ථා මගිනි.
එහිදී වීඩියෝ ලයික් කිරීම, නිෂ්පාදන සඳහා ශ්රේණිගත කිරීම් ලබා දීම හෝ අන්තර්ගතයන් ප්රචාරණය කිරීම වැනි සරල කාර්යයන් සඳහා වින්දිතයන්ට මුදල් ගෙවන බවට වංචාකරුවන් පොරොන්දු වේ.
ආරම්භයේදී, කුඩා මුදලක් ගෙවා විශ්වාසය දිනාගන්නා වංචාකරුවන්, පසුව වැඩි වටිනාකමකින් යුත් කාර්යයන් සම්පූර්ණ කිරීමට හෝ උපයාගත් මුදල් ආපසු ලබා ගැනීමට නම් විශාල මුදලක් තැන්පත් කළ යුතු බව පවසමින් වින්දිතයන් මුලා කරන බව අනාවරණ වී ඇත.



