දිට්වා සුළි කුණාටුව සහ අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් මෙරට ජනතාවට සහන සැලසීම සඳහා කඩිනම් මානුෂීය ආධාර ලබා දීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සිය ස්තුතිය පළ කර තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා සමඟ පැවති දුරකථන සංවාදයකදී ජනාධිපතිවරයා එලෙස ස්තුතිය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
අර්බුකාරී අවස්ථාවලදී ශ්‍රී ලංකාව සමඟ රැඳෙමින් නිරන්තර සහාය දැක්වීම පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා වෙත එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාවද පළ කර තිබෙනවා.
එම දුරකතන ඇමතුම අතරතුර, ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් මහතා, ගංවතුරෙන් අහිමි වූ ජීවිත සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ මෙරට ජනතාවට සිය බලවත් සංවේගය පළ කළ බවත් මෙම ආපදා තත්වයෙන් එල්ල වන අභියෝගවලට මුහුණ දීම සඳහා ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගනිමින් වැඩිදුර සහාය ලබා දීමට ඇති අවස්ථා සහ ආකාර සොයා බැලීම සඳහා හානියේ ප්‍රමාණය තක්සේරු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කණ්ඩායමක් මෙරටට එවීමට කටයුතු කරන බවද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම් දී තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය අනුගමනය කරන දිගුකාලීන මානුෂීය ප්‍රතිපත්තිය යටතේ, ස්වාභාවික විපත් සහ හදිසි අවස්ථාවලින් පීඩාවට පත් ජාතීන්ට අවශ්‍ය සහාය සහ කඩිනම් සහන ලබා දීම මෙන්ම දිගුකාලීනව යළි යථා තත්වයට පැමිණ වීම කෙරෙහි අවධානය යොමු කරමින්, මෙම ආධාර ලබා දෙන බවද එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාව සමඟ සිටිමින් අවශ්‍ය සහාය ලබා දීමට තම රට කැප වී ක්‍රියා කරන බවටද ඔහු යළි තහවුරු කර තිබෙනවා.
ජාත්‍යන්තර ආධාර සැපයීම සඳහා වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය නියෝජිතායතනය සහ එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් සමාජය ඒකාබද්ධව මෙරට කඩිනම් සහන සැපයීමේ මෙහෙයුම් දියත් කෙරුණා.
ඒ අතරට අබුඩාබි සිවිල් ආරක්ෂක කණ්ඩායම් විසින් දරුණු ලෙස ආපදාවට ලක් වූ ප්‍රදේශවල සිදු කරන ලද සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් මෙන්ම අවතැන් වූ පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර සැපයීම සහ හදිසි නවාතැන් පහසුකම් සැලසීමේ මෙහෙයුම්ද ඇතුළත්.
මෙම ආපදා අවස්ථාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් දක්වන ලද කඩිනම් සහාය මෙන්ම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන සහන කටයුතු සඳහා සැලකිය යුතු දායකත්වයක් සැපයීම දෙරට අතර ශක්තිමත් සහ දීර්ඝකාලීන සබඳතාවල පිළිබිඹුවක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේ.




