2015 වසරේ ශ්‍රී ලංකා ගුවන්විලි සංස්ථාවේ සේවය කළ ජාතික සේවක සංගමයේ සාමාජිකත්වය දරන සේවක සේවිකාවන් 55 දෙනෙකුට උසස්වීම් හා වැටුප් වර්ධක ලබාදීමට එම සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය නීතියට පටහැණි බවත් ඒවා බල රහිත කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කර තිබෙනවා. අදාල උසස් වීම් හා වැටුප් වර්ධක ලබාදීම අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ ලේකම් පී.පී.එස්. ප්‍රේමසිරි, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් මුදිත් සිරිවර්ධන ඇතුළු සේවකයින් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබූවා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එස්.තුරෙයි රාජා සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. මෙම නීති විරෝධී උසස්වීම් හා වැටුප් වර්ධක ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාදීම තුළින් එවක ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ නන්ද මුරුත්තෙට්ටුවේගම සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වශයෙන් කටයුතු කළ දීපිකා ප්‍රියදර්ශනී පිරිස්, ඩබ්ලිව්. ජයසිරී, මහාචාර්ය කීර්ති සමරසිංහ, චන්ද්‍රිකා කුලතිලක සහ ඊ. හෙට්ටිආරච්චි යන අය පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ වෙනුවෙන් ඔවුන් සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් 480000/- ක් පෙත්සම්කරුවන්ට ගෙවිය යුතු බවත් එම වන්දි මුදල් අද සිට මාස දෙකක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් එම නියෝගයේ සඳහන් වෙනවා. ඊට අමතරව මෙම තීන්දුව ලබා දුන් දින සිට මාස හයක කාලයක් තුළ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සඳහා බඳවා ගැනීම් හා උසස් වීම් පිරිනැමීම වෙනුවෙන් විධිමත් ක්‍රියා පටිපාටියක් සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම සංස්ථාවේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයට නියෝග කෙරුනා. එසේ සකස් කරනු ලබන බඳවාගැනීමේ හා උසස්වීම් ක්‍රියා පටිපාටියට අදාල පිටපතක් ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ යුතු බවත් විනිසුරු මඩුල්ල විසින් ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණා. පෙත්සම්කරවන් චෝදනා කර තිබුණේ 2015 වසරේ මැයි මස 25 වන දා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව එම සංස්ථාවේ සේවය කළ ජාතික සේවක සංගමයේ සාමාජිකයින් 32 කට සංස්ථාවේ බඳවා ගැනීමේ පටිපාටියට පටහැනිව උසස්වීම ලබා දී තවත් 23 දෙනෙකුට අනීතික ලෙස වැටුප් වර්ධක ලබාදීමට කටයුතු කළ බවයි. විධිමත් ලෙස අයදුම් පත් කැඳවීමකින් තොරව සහ සම්මුඛ පරීක්‍ෂණයක් පැවැත්වීමකින් තොරව මෙම උසස්වීම් ප්‍රදානය කර තිබෙන බවත් ඒවා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බඳවා ගැනීමේ පටිපාටියට සම්පූර්ණයෙන්ම පටහැනි බවත් ඔවුන් සිය පෙත්සමෙන් චෝදනා කර තිබුණා. මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඔවුන් සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා. මෙම පෙත්සම පිළිබඳව විභාගයක් පැවැත් වූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම ක්‍රියාව තුළින් වග උත්තරකාර සංස්ථාවේ එවක සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරමින් මෙම නියෝග නිකුත් කළා.