කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට ශ්‍රි ලංකාව පත් කරමින් රටේ සමස්ථ ජනතාවට සාධාරණ සහ පහසු මිලකට විදුලිය ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
ජාතික විදුලිබල පද්ධතියේ අවශ්‍යතාවයෙන් සියයට 12ක් හෙවත් මෙගා වොට් 350ක් ලබාදෙන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රිය විදුලි බලාගාරයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.
එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ බලශක්ති ක්ෂේත්රයේ නිරතුරුව වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා සහ නියාමන රාමු තුළ අනුවර්තනය වෙමින්, තිරසරභාවය සහ නවෝත්පාදනය පෙරදැරි කරගත් පරිවර්තනීය යුගයක්, ලෝකය මේ වන විට පසු කරමින් සිටින බවයි.
ගෝලීය ප්රවණතාවන් මෙසේ තිබියදී, කලාපයේ විදුලි මිල අධික රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ ඉහළ ස්ථානයක බවද ඇය පෙන්වා දුන්නා.
දශක ගණනක් පුරා සිදු කළ වැරදි ආර්ථික කළමනාකරණය නිසා රට වැටී ඇති ආර්ථික ආගාධයෙන් ගොඩ ගැනීම සඳහා නිෂ්පාදන ආර්ථිකයක් වෙත පිවිසීමට ඇති ප්‍රධාන බාධකයක් වන්නේ මෙම දැරිය නොහැකි බලශක්ති පිරිවැය බවයි අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ.
වත්මන් රජය නව බලශක්ති ක්ෂේත්‍ර වෙත අවධානය යොමු කරමින් විශේෂයෙන් සූර්ය බලශක්තිය සහ සුළං බලශක්තිය භාවිතයට ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සිටින්නේ අධික විදුලි පිරිවැය අවම කරගැනීමේ අරමුණින් බවද ඇය සඳහන් කළා.
ශ්‍රී ලංකාව, කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට පත් කිරීම සඳහා ප්‍රසම්පාදන හා මිල කැඳවීම් ක්‍රියාවලිය සක්‍රීය කර තෙල් මත පදනම් වූ විදුලි ජනනය, සුර්ය හා සුළං බලය වැනි පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවා.
රටේ සමස්ථ ජනතාවට සාධාරණ සහ පහසු මිලකට විදුලිය ලබා දෙමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ කාර්යයට නිෂ්පාදකයින් වැඩි වශයෙන් දායක කර ගැනීම රජයේ අරමුණක් වන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.




