“කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

සැකකරුවන් විසින් රැගෙන ආ ගමන් මලු අතර වූ එක් ගමන් මල්ලක් තුළ , පැකට් 60 ක් ලෙස අසුරා සකස් කළ , ”කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 16 යි ග්‍රෑම් 400 ක් සගවා තිබියදී සොයාගෙන තිබෙනවා.

එම කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් දහසය කෝටි හතලිස් ලක්ෂයක් පමණ වන බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.

සැකකරුවන් මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , ඩුබායි වෙත පැමිණ , එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක්ද වන අතර සැකකරුවන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

ඔවුන් අතරින් එක් පුද්ගයෙකු තමන් පදිංචි ප්‍රදේශයේ ” ස්පා ” සම්භාහන ආයතනයක් පවත්වා ගෙන යනු ලබන අයෙක් බවටද අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , තවදුරටත් රදවා තබා ගෙන ප්‍රශ්ණ කිරීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ.