දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ සහ අර්ධ නිවාස හානි සිදු වූ මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන ඇරඹීම සහ වන්දි ප්‍රදානය අද සිදු කෙරෙනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කර්මාන්තකරුවන්ට සහ පූර්ණ සහ අර්ධ වශයෙන් නිවාස හානි සිදු වූ පවුල් සඳහා වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාව අද පෙරවරුවේ කුණ්ඩසාලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් තම කර්මාන්ත ස්ථානය හෝ යන්ත්‍රෝපකරණ ආදිය හානි වූ පුද්ගලයන්ට තම ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා වන්දි මුදලක් ලෙස රුපියල් ලක්ෂ 02 බැගින් ලබා දීම මෙහිදී සිදු වනවා.
කුඩා, මධ්‍යම හෝ මහාපරිමාණ ආදී භේදයකින් තොරව ලියාපදිංචි කර තිබෙන සෑම ව්‍යාපාරයකටම නැවත තම ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම මූල්‍ය ප්‍රදානය සිදු කෙරෙන බවයි ජනාධාපති මාධ්‍ය අංශය පැවසුවේ.
එමෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි වූවන්ට නව නිවසක් ඉදිකර ගැනීම සඳහා ගෙවීමට නියමිත රුපියල් ලක්ෂ 50ක මුදලින් ප්‍රථම වාරිකය වශයෙන් රුපියල් ලක්ෂ 20 බැගින් චෙක් පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරෙනවා.
තමන්ටම හිමි ඉඩමක හෝ එම ඉඩමෙහි නිවාස ඉදිකරන පුද්ගලයින් හෝ රජයේ ඉඩමක් ලබාදී එහි නිවස ඉදිකරන පුද්ගලයන් මෙම කාණ්ඩයට අයත් වනවා.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි වූ පවුල් සහ නාය යෑම් අධි අවදානම් ලෙස හඳුනාගෙන ඇති පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉඩම් ප්‍රදානය සහ වන්දි ලබාදීම අද පස්වරුවේ නියංගොඩ පාසල් ක්‍රීිඩාපිටියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.
එමෙන්ම නිවාස අර්ධ හානි වූවන් සඳහා කඩිනම් සහන සැලසීමේ අරමුණින් වන්දි මුදල් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරෙනවා.
එම නිවාස ඉදිකිරීමේ වැඩසටහන අරඹමින්, නව නිවසක ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතයි.
මේ අතර, මහනුවර - යාපනය මාර්ගයේ මහයියාව උමං මාර්ගය ඉදිකිරීම් කටයුතුද අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම, ඉදිකිරීම් නවතා තිබූ ගැටඹේ ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමද ජනාධිපතිවරයාගේ ප්රාධානත්වයෙන් අද පෙරවරුවේදී සිදු කෙරෙන බවයි ජනාධාපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කලේ.




