ප්‍රබල සංවිධානාත්මක අපරාධ සාමාජිකයෙකු වූ සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සැකකරු පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරියේ එෆ් ඒ වුට්ලර් මහතා පැවසුවේ.

ගම්පහ, ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 69 හැවිරිදියේ පසුවන ඔස්මන් ගුණසේකර නොහොත් ගම්පහ ඔස්මන් නමැත්තා බවටයි වාර්තා වුණේ.

ගනේමුල්ල සංජීවගේ ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත සිටින සැකකරුවන්ගෙන් අනාවරණ වූ තොරතුරු අනුව මෙම සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඒ, ගනේමුල්ල සංජීව ඝාතනය සදහා විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමග එක්ව සැලසුම් කිරීම, කුමන්ත්‍රණය කිරීම හා අපරාධය සිදුකිරීම සදහා අවශ්‍ය ගිනි අවිය ලබාදි මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම යන චෝදනා යටතේයි.

එමෙන්ම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත රිපිටල් වර්ගයේ ගිනි අවියක්, මැගසින් දෙකක් සහ එම ජිව පතරොම් දහයක් ද පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරියේ එෆ් ඒ වුට්ලර් මහතා වැඩිදුරටත් පැවසුවේ.