ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී අද (7)  සහ හෙට (8) දිනයේදි ද පැවැත්වෙනවා.

එම ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ආරම්භ කෙරුණා.

ගුවන් හමුදා කඳවුර වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ගුවන් හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

එහිදී, විශේෂ ගුවන් සංදර්ශනය නැරඹීමට එක් වූ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නැරඹීමටද එක්ව තිබෙනවා.

ජනාධිපතිවරයා ගුවන් හමුදා කෞතුකාගාරයේදී විශේෂ සමරු සටහනක්ද තැබු බවත් එම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිහිවටන තිළිණයක්ද පිළිගැන් වූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වසර 75ක ගෞරවනීය සේවාව මහජනතාව සමඟ බෙදාගැනීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය සංවිධානය කර තිබෙනවා.

ගගන ශිල්පීය හා ගුවන් තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනික වශයෙන් වැදගත් විවිධ කුටි රැසකින් මෙම ප්‍රදර්ශනය සමන්විතයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා සමීපව දැකගැනීමට හා ඒවා පිළිබඳ තාක්ෂණික තොරතරු දැන ගැනීමටත් මෙහිදී අවස්ථාව උදාවනවා.

මෙම ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය අද සහ හෙට පස්වරු 02.00 සිට රාත්‍රි 10.00 දක්වා මහජනතාවට විවෘතව පවතින බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහන් කළේ.