වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ මරණ දඬුවමට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යළි වැලිකඩ බන්ධනාගාරයට මාරු කර තිබෙනවා.
ඒ අනුව ඔහු වැලිකඩ බන්ධනාගාරයේ “කේ” වාට්ටුවේ තවත් රැඳවියන් පිරිසක් සමග රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
මීට සති දෙකකට පෙර ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ, දියවැඩියාව රෝගයෙන් පෙළෙන ඔහුට ඉන්සියුලීන් එන්නත ලබාදී සඳහායි.
නේවාසිකව ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් ඔහුගේ රෝගී තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඒ අනුව ඔහු යළි වැලිකඩ බන්ධනාගාරයට මාරු කර තිබෙනවා.
මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කර තිබෙනවා.
ඒ, වෛද්‍ය සායනයක් සඳහායි. ඔහු කලක සිට රෝගි තත්ත්ව කිහිපයකින් පෙලෙන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඒ අනුව ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
එහිදී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විශේෂ වෛද්‍යවරයකු වෙත යොමු කළ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
කෙසේවෙතත් ඔහුට අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය පරීක්ෂාවකට යොමු කිරීමෙන් පසු යළිත් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරු කර තිබෙනවා.
ඔහු ද බන්ධනාගාර නිලධාරීන්ට පවසා ඇත්තේ තමන්ට වැලිකඩ බන්ධනාගාර රෝහලේ නතර වීමට බැරි බවයි.
කඩිනමින් තමන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන යන ලෙසත් ඔහු බන්ධනාගාර නිලධාරීන්ට පවසා ඇති බවයි වාර්තා වුණේ.
ඒ අනුව හිටපු අමාත්‍යවරයා එම බන්ධනාගාරයේ “එන්” වාට්ටුවේ යළි රැඳවූ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඔහු එම බන්ධනාගාරයේ තවත් රැඳවියන් කිහිප දෙනෙකු සමඟ රඳවා සිටිනවා.
එම රැඳවියන් සියලු දෙනා විවිධ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කළ රාජ්‍ය සේවකයන් වනවා.
ඊට අමතරව රක්ෂිත බන්ධනාගාරගත පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ද “එන්” වාට්ටුවේ සිටින තවත් පිරිසක්.
මේ අතර යළි රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ “එම්-ටූ” වාට්ටුවේ රඳවා සිටිනවා.
ඒ, තවත් රැඳවියන් පිරිසක සමගින්.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු විවිධ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කළ රැඳවියන් පිරිසක් සමග එලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ.
එමෙන්ම රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියෙ රතන හිමියන් ද කොළඹ මැගසින් බන්ධනාගාරයෙ රඳවා සිටිනවා. රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා රඳවා සිටින්නේ මීගමුව බන්ධනාගාරයේ බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ.



