ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට ඉන්දියාව සහ පාකිස්තානය අවසන් මහා තරඟයකට පිවිස සිටිනවා. ඒ, ඊයේ පැවති තීරණාත්මක තරඟයෙන් පකිස්තානය විසින් බංග්ලාදේශය ලකුණු 11කින් පරාජයට පත් කිරීමත් සමගයි. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්තානය ලකුණු 135කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා. පකිස්තාන ඉනිමේ 11 වන පන්දුවාරය වන විට ලකුණු 49කට කඩුලු 05ක් බිඳ දැමීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණේ තරඟයේ වැඩි වාසි අත්කර ගනිමින්. එහෙත් මොහොමඩ් හැරිස් සහ මොහොමඩ් නවාස් පකිස්තාන ලකුණු පුවරුව ගෞරවාන්විත තැනකට ඔසවා තැබුවා. ලකුණු 136ක ඉලක්කය පහසුවෙන් හඹා යාමට ඉඩ නොදුන් පකිස්තාන පන්දු යවන්නන් තරඟයේ මුල සිට බංග්ලාදේශ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළා. ඒ අනුව නියමිත පන්දුවාර විස්ස අවසන් වන විට බංග්ලාදේශ පිතිකරුවන්ට කඩුලු 09ක් දැවී රැස්කර ගත හැකි වුණේ ලකුණු 124ක් පමණයි. පිත්තෙන් ලකුණු 19ක් සහ පන්දු යැවීමෙන් ලකුණු 17කට කඩුලු 03ක් බිඳ හෙලූ ෂහීන් ශා අෆ්රිඩි තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තා. ඒ අනුව වසර 40කට අධික ඉතිහාසයක් ඇති ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා තරඟයකදී ඉන්දියාව සහ පාකිස්තානය ප්‍රථම වරට මුණ ගැසෙනු ඇති. ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වාර ගණනකදී අවසන් මහා තරඟයට පිවිස ඇත්තේ ශ්‍රී ලංකාවයි. එම සංඛ්‍යාව 13ක්. ඉන් අවස්ථා 06කදී ශූරතාවත් අවස්ථා 07කදී අනුශූරතාවත් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. ඉන්දියාව පවා අවසන් මහා තරඟයකට පිවිස ඇත්තේ අවස්ථා 11කදී පමණයි. ඉන් අවස්ථා 08කදී ඔවුන් ශූරතාව දිනාගෙන තිබෙනවා. මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. තරඟය පැවැත්වෙන්නේ ඩුබායි හීදීයි.
Published