ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 06කින් පරාජයට පත් කරමින්. තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩයම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුනු 139ක් ලබා ගත්තා. එහිදී බංග්ලාදේශ කණ්ඩයමේ ආරම්භ පිතිකරුවන් දෙදෙනාව ලකුණු පුවරුවට කිසිදු ලකුණක් එකතු කිරීමට ඉඩ නොදී නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා සමත් වුණා. නුවන් තුෂාර ක්‍රියාත්මක කළ පළමු පන්දුවාරයෙදි ටැන්සිඩ් හසන් ලකුණු නොලබා දැවී ගිය අතර පර්වේස් හොසේන් එමොන්, දුෂ්මන්ත චමීර ක්‍රියාත්මක කළ දෙවන පන්දුවාරයේදී ලකුණු නොලබා දැවී ගියා. ඉන් අනතුරුව පිටියට පැමිණි ටෝහිඩ් හ්‍රිඩෝයි නායක චරිත් අසලංක වෙත පහසු උඩ පන්දුවක් ලබා දුන්නද එය චරිත් අසලංක අතින් ගිලී ගියා. ටෝහිඩ් හ්‍රිඩෝයිගේ ඒ සතුට වැඩි වේලාවක් භුක්ති විඳීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඉන් අනතුරුව ක්‍රියාත්මක කළ පන්දුවේදී කමිල් මිෂාරගේ දක්ෂ පන්දු රැකීම හමුවේ හතරේ සීමාව ආසන්නයේ සිට කෙලින්ම කඩුල්ලට එල්ල කළ පන්දුවක් හමුවේ ටෝහිඩ් හ්‍රිඩෝයි ලකුණු 08ක් ලබා සිටියදී දැවී ගියා. ආබාධ තත්ත්වයකින් පසු නැවත ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වූ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග නැවත සුපුරුදු රිද්මයට පැමිණෙමින් බංග්ලාදේශ කණ්ඩායමේ නායක ලිටන් දාස් සහ මෙහෙදි හසන් දවා ගනිමින් බංග්ලාදේශ කණ්ඩායම අසීරු අඩියකට ඇද දැමුවා. දිගින් දිගටම ශ්‍රී ලංකා පන්දු යවන්නන් එල් කල දැඩි පීඩනය බංගලාදේශ කණ්ඩායම කඩුලු 05යි ලකුණු 53ක් තුළදි දැවි ගියා. බංගලාදේශ කඩා වැටුණු ඉනිම නැවත ශක්තිමත් කරමින් ජේකර් අලි සහ සමීමි හොසේන් එක්ව හයවන කඩුල්ල සඳහා ලකුණු අසූ හයක සබඳතාවක් ගොඩනැඟුවා. එහිදි ජේකර් අලි නොදැවී ලකුනු 41ක් ලබා ගත් අතර සමීමි හොසේන් නොදැවී ලකුණු 42ක් ලබා ගනිමින් බංගලාදේශ කණ්ඩායම අගෞරව ලකුණු පූවරුවක් කරාා රැගෙන ගියා. ඒ අනුව බංග්ලාදේශ නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු පහක් පමණක් දැවී ලකුණු 139ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගත් අතර නුවන් තුෂාර සහ දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව ලකුණු 140ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 04ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 140ක් රැස්කරමින් ගනිමින් ආසියානු කුසලාන තරඟාවලියේ පළමු ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. විශිෂ්ට පිති හරඹයක නිරවූ පැතුම් නිස්සංක ලකුණු 50ක් ලබා ගත්තා. ඔහුගේ එම ඉනිමට හතරේ පහරවල් හයක් සහ එක් හයේ පහරක් ඇතුළත්. එමෙන්ම ඔහුට ජාත්‍යන්තර විස්සයි 20 ක්‍රිකට් පිටියේ ලකුණු 2,000 කඩඉම පසු කිරීමටද හැකිවුණා. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු 20යි 20 පිටියේ ලකුණු 2,000 පසු කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස පැතුම් නිස්සංක වාර්තා අතරට එක් වුණා. කමිල් මිෂාර නොදැවී ලකුණු 46ක් රැස්කිරීමට සමත් වුණා. ඔහුගේ එම ඉනිමට හතරේ පහරවල් හතරක් සහ හයේ පහරවල් දෙකක් ඇතුළත්. මෙම ජයග්‍රහණයත් සමග "B" කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව කණ්ඩායමට හැකිවුණා. එම කාණ්ඩයේ පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමයි. "A" කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වන්නේ ඉන්දීය කණ්ඩායමයි. ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය හෙට හොංකොං කණ්ඩායම අතර ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි.