සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩයම සහ නැමීබියානු කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරඟයෙන් තියුණු තරඟයකින් පසු ඓතිහාසික ජයක් වාර්තා කර ගැනිමට නැමීබියානු කණ්ඩායම සමත් වුණා.

තරඟය පැවැත්වුණේ නැමීබියාවේ වින්ඩ්හෝක් හිදීයි.

නැමීබියානු කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කළේ ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක්.

තරඟයේ කාසිය වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු කණ්ඩයම නියමිත පන්දුවාර 20 අවසානයෙදී කඩුලු 08ක් දැවී ලකුණු 134ක් රැස් කළා. ජයග්‍රාහී ලකුණු 135ක ඉලක්කයක් හඹා ගිය නැමීබියානු කණ්ඩායම කරට කර සටනක් ලබා දෙමින් අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය වාර්තා කළා.

නැමීබියානු කණ්ඩායමට අවසන් පන්දු වාරයේදි ජයග්‍රණය සඳහා ලකුණු 11ක් අවශ්‍ය වී තිබූ අතර පළමු පන්දුවට ලකුණු 06ක් සහ අවසන් පන්දුවට ලකුණු 04ක් එල්ල කරමින් නැමීබියානු කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම පරදවා කඩුලු 04ක විශිෂ්ට ජයක් හිමිකර ගත්තා.