වසර හයකට පසු බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව එක්දින ක්‍රිකට් තරඟාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, බංග්ලාදේශය සමඟ පැවති එක්දින ක්‍රිකට් තරඟාවලිය දෙකට එකක් ලෙස ජය ගනිමින්.

මෙම තරඟාවලියේ ජය සැලකුනේ 2019 වසරෙන් පසු තම මව් රටේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කළ පළමු අවස්ථාව ලෙසයි.

2019 වසරෙන් පසු දෙරට අතර එක්දින තරගාවලි දෙකක් පවත්වා තිබුණේ බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන්.

එම තරඟාවලි දෙකම බංග්ලාදේශය ජයගෙන තිබුණා.

දෙරට අතර තීරණාත්මක තුන් වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟය දිවා රාත්‍රී තරඟයක් ලෙස ඊයේ පැවැත්වුණේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

එහිදී කුසල් මෙන්ඩිස් රැස් කළ විශිෂ්ට ශතකය හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 286ක ඉලක්කයක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 285ක් රැස් කළා.

සිය එක්දින දිවියේ හයවන ශතකය රැස් කළ කුසල් මෙන්ඩිස් ලකුණු 124ක් රැස් කිරීමට සමත් වුණා.

චරිත් අසලංක ලකුණු 58යි.

කෙසේවෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර 39යි පන්දු 04ක් තුළ ලකුණු 186කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුණා.

ඒ අනුව අවසන් එක්දින තරගය ශ්‍රී ලංකා පිල ජයගත්තේ ලකුණු 99කින්.

දක්ශ පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර කඩුලු 03 බැගින් බිඳ හෙලුවා.

තරග තුනේදී ලකුණු 225ක් රැස් කළ කුසල් මෙන්ඩිස් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේ අවසන් තරගයේ වීරයා සම්මානය ද දිනා ගනිමින්.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය ද ශ්‍රී ලංකාව එකට බින්දුවක් ලෙස ජය ගත්තා.

දැන් ඉතිරිව ඇත්තේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියයි.

එය හෙට ආරම්භ වනවා.

තරගාවලියට තරග තුනක් ඇතුළත්.