වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ අද පැවති තරඟයෙන් කඩුලු දෙකක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින්. මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන්, ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී දවාගත හැකි වූයේ ලකුණු 235ක් පමණයි.

සෙත්මික සෙනෙවිරත්න සහ දුල්නිත් සිගේරා කඩුලු 03 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩකයින් පන්දුවාර 49යි පන්දු දෙකකදී කඩුලු 08කට ලකුණු 238ක් රැස් කර ගනිමින් මෙම තරඟයේ ජය වාර්තා කළා.

පිත්තෙන් දස්කම් දැක්වූ විරාන් චමුදිත ලකුණු 62ක් රැස් කළ අතර චාමික හීනටිගල නොදැවී ලකුණු 51ක් රැස් කළා.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලියේදී ලබා ගත් දෙවන ජයග්‍රහණය මෙය වනවා.