හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.

මහනුවර ප්‍රදේශයේ පිහිටි නිවසේ සිටියදී ඔහු එලෙස අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.

අභාවප්‍රාප්ත වන විට ජයනන්ද වර්ණවීර මහතා 64 වන වියේ පසු වුණා. 1986 වසරේදී පාකිස්තානයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් ඔහු වසර 08කට අධික කාලයක් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නියෝජනය කර තිබෙනවා.

1994 වසරේදී ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ජයනන්ද වර්ණවීර මහතා බිඳහෙලා ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 32ක්.

එමෙන්ම ඔහු එක්දින කඩුලු 06ක් ද බිඳහෙලා තිබෙනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිටිය සැකසීමේ ප්‍රධානියා ලෙස ද ඔහු කටයුතු කර තිබෙනවා.

අභාවප්‍රාප්ත හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතාගේ අවසන් කටයුතු සිදු කරන දිනය පසුව දැනුම්දෙන බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.