ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදී එම තරගාවලිය ජය ගැනීම සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ඒ, දෙරට අතර පැවති දෙවන විස්සයි විස්ස තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුළු 6 කින් ජය ගනිමින්.
පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස් කළා.
පවන් රත්නායක පන්දු 22කදී ලකුණු 40යි. කමිල් මිෂාර ලකුණු 36 ක් සහ පැත්ම් නිස්සංක ලකුණු 34 ක් රැස් කළා.
කුසල් මෙන්ඩිස් ලකුණු 32 යි. චරිත් අසලංක ලකුණු 28 කට දැවී ගිය අතර නායක දසුන් ශානකට රැස් කිරීමට හැකි වූයේ එක් ලකුණක් පමණයි.
ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ලකුණු 190ක ඉලක්කයක් හිමි වුණා.
කෙසේවෙතත් එංගලන්ත කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 17කදී ලකුණු 168ක ඉලක්කයක් ලබාදීමට තරග තීරකවරයා කටයුතු කළා.
ඒ අනුව කඩුලු 4ක් දැවී තිබියදී අවසන් පන්දුවාරයේදී ලකුණු 174 ක් ලබාගනිමින් සංචාරක එංගලන්ත කණ්ඩායම තරගය ජයගත්තා.
එංගලන්තය වෙනුවෙන් ටොම් බෙන්ටන් පන්දු 33කදී ලකුණු 54ක් රැස්කළ අතර, නායක හැරී බෲක් පන්දු 12කින් ලකුණු 36ක් රැස් කළා.
පන්දු යැවීමේදී මතීෂ පතිරණ කඩුළු 2 ක් දවා ගත් අතර දසුන් ශාන්ක සහ දුනිත් වෙල්ලාගේ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
ශ්‍රී ලංකාව ලැබූ මෙම පරාජය සැලකෙන්නේ ඔවුන් එංගලන්තය හමුවේ අඛණ්ඩව ලැබූ 10වන විස්සයි විස්ස තරග පරාජය ලෙසයි.
ඒ අනුව 2014 වසරේ සිට මේ දක්වා එංගලන්තයට එරෙහිව පැවති කිසිදු විස්සයි විස්ස තරගයක් ජයගෙන ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී නැහැ.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියද ජය ගනු ලැබුවේ සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමයි.



