තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා පිලිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදීයි.

එහිදී ආචාර වෙඩි මුර 21 ක් ද පැවැත්වුවා.

දෙරටේ රාජ්‍ය නායකයින් ඒකාබද්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමටද නියමිතව තිබෙනවා.

එමෙන්ම දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.

එමෙන්ම මාලදිවයින් ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් කිහිපයක්ද අත්සන් කෙරෙනු ඇති බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා ලබන 06 වන දින තෙක් ශ්‍රී ලංකාවේ රැදි සිටිනු ඇති.