ඊශ්‍රායලය සහ ඉරානයේ සහාය ලබන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසනවා.

දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවකින් පසු, ලෙබනනයේ ගම්මාන 50 කට වැඩි ගණනක පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ දැනුම් දී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

මිනිසුන් තම නිවෙස් අත්හැර පලා යාම හේතුවෙන් ලෙබනනයේ නගර රැසක දැඩි රථවාහන තදබදයක්ද හටග ගෙන තිබෙනවා.

මේ අතර ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ බෙයිට් ෂෙමෙෂ් නගරයේ අවම වශයෙන් පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් ඇති අතර යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායලයට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය එය වන බවයි විදෙස් මාධ්‍ය වාර්ත කලේ.

මතුවඇති තත්වය හේතුවෙන් ආසියා පැසිෆික් කලාපයේ ගුවන් සේවාවල කොටස් මිල පහත වැටෙමින් පවතින අතර හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඉරානය විසින් නැව් වලට පහර දීමෙන් පසු ගෝලීය ඉන්ධන මිල ද ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ මැද පෙරදිග කලාපයේ හමුදා ක්‍රියාකාරකම් ”සියලු අරමුණු” සාක්ෂාත් කර ගන්නා තෙක් දිගටම පවතිනු ඇති බවයි.

මේ අතර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ හෙට දිනයේදී ඉරානය පිළිබඳව අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් නායකයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.