මවකට ආදරය කළ යුත්තේ ජිවත් සිටින කාලය තුළ මිස ඝාතනය කිරීමෙන් අනතුරුව නොවන බව බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා පවසනවා. ඉඩම් ආරවුලක් හේතුවෙන් තම මව ගෙල සිර කර මරා දැමූ බවට මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි, විත්තිකරුවෙකු එකී චෝදනාවට වරදකරු කරමින් මහාධිකරණ විනිසුරුවරයා මේ බව කියාසිටියා.

අධිකරණයෙන් නියම කරන ලද දඩුවමට අමතරව බෞද්ධ ඉගැන්වීමට අනුව මෙම වරදට බරපතල ප්‍රතිවිපාක වලට මුහුණදීමට සිදුවන බවයි මහාධිකරණ විනිසුරුවරයා එහිදී පෙන්වා දුන්නේ.

ඒ අනුව, ඉඩම් ආරවුලක් ඇති කරගෙන බහින්වීම ඉක්මවා යමින් තදබල ගැටුමක් දක්වා ගෙන ගොස් ගෙල සිර කර තම මව ඝාතනය කළ විත්තිකාරු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා ඔහුට මරණීය දණ්ඩනය ද එහිදී නියම කළා.

ගෙල සිරකර තම මව ඝාතනය කළ බවට විත්තකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණය සැකයකින් ඔබ්බට ඔප්පු කර ඇති බවද ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා ඒ අනුව, ජනාධිපතිවරයා නියම කරනු ලබන දිනයක සහ වේලාවකදී වැලිකඩ සිරගෙදරදී බිත්ති හතරක් ඇතුලත විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ද වනතුරු එල්ලා තබා මරා දමන ලෙසට තමා නියෝග කරන බවද සදහන් කළා.

විත්තිකරුට මරණීය දණ්ඩනය නියම නොකළ යුතු බවට කිසිවක් කීමට ඇත්දැයි මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුගෙන් එහිදී විමසු අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමින් විත්තිකරු ප්‍රකාශ කර ඇත්තේ “මට කියන්න තියෙන්නෙ, මගෙ අම්මට මම ගොඩක් ආදරෙයි.

මම හදාවඩා ගත් අම්මට මම ගොඩක් ආදරෙයි. අත පය නොකඩා කිරි දීලා මාව හදා ගත් අම්මට මම ගොඩක් ආදරෙයි” යනුවෙනි.

එහිදී මහාධිකරණ විනිසුරුවරයා යළි විත්තිකරුගෙන් විමසා සිටියේ තමා කුමන ආගමේද යන්නයි. තමන් බෞද්ධාගමිකයෙකු බව විත්තිකරු එහිදී පවසා තිබෙනවා.

විත්තිකරුගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා එහිදි ප්‍රකාශ කළේ, මවකට ආදරය කළ යුත්තේ ජීවත් සිටින කාලය තුළදී මිස ඝාතනය කිරීමෙන් අනතුරුව නොවන බවයි.
බෞද්ධ ඉගැන්වීමට අනුව, මව ඝාතනය කිරීම ආනන්තරීය පාපකර්මයක් ලෙස සැලකෙන බවද අවධාරණය කළ මහාධිකරණ විනිසුරුවරයා මව ඝාතනය කිරීමේ වරදට නීතියෙන් හිමිවන දඩුවමට අමතරව විත්තිකරුට අනිටු විපාක වලට මුහුණදීමට සිදුවන බවට සිහි තබා ගත යුතු බවද කියා සිටියා.

මරණකාර මව සහ විත්තිකාර පුතා අතර හටගත් බව කියන ආරවුල විත්තිකාර පුතා විසින්ම ඇතිකර ගන්නා ලද ඉඩම් සම්බන්ධ ආරවුලක් මිස එය කිසිසේත්ම මරණකාර මව විසින් ආරම්භ කරන ලද්දක් නොවන බව අධිකරණ නඩු විභාගයේදී සාක්ෂි මගින් අනාවරණ වී ඇති බවද මහාධිකරණ විනිසුරුවරයා පැවසුවා.

තම මව ඝාතනය කිරීමේ වරදට මෙලෙස මරණ දඩුවම නියමවූයේ මීටියාගොඩ, තෙල්වත්ත, මැටිවල පදිංචි පිටිගල ලියනගේ පැරකුම් පෙරේරා නැමැත්තෙකුටයි.

2017 වසරේ සැප්තැම්බර් මස 27 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී බලපිටිය මහාධිකරණ බලප්‍රදේශයට අයත්, මැටිවලදී තම මව වන සීලවතී අබේවික්‍රම තම යන අය ගෙල සිර කර මරා දැමූ බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය ප්‍රකාරව විත්තිකරුට එරෙහිව බලපිටිය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණා.