විශිෂ්ටයින් අතරින් අති විශිෂ්ටයින් සොයන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන SLC T-20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වෙනවා. ඒ, කමිඳු මෙන්ඩිස් නායකත්වය දරන කොළ කණ්ඩායම සහ චරිත් අසලංක නායකත්වය දරන අලු කණ්ඩායම අතරයි. පස්වරු 01යි 30ට මෙම තරඟය ආරම්භ වීමට නියමිතව ඇත්තේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදීයි. තරඟාවලියේ අලු කණ්ඩායම ජය ගත්තේ තමන් සහභාගී වූ තරඟ දෙකක් පමණයි. දෙපිල අතර පසුගිය 14 වනදා පැවැත්වීමට නියමිතව තිබූ තරඟයද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුණා. තරඟාවලියේ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයින් දෙදෙනාම චරිත් අසලංක නායකත්වය දරන අලු කණ්ඩායම නියෝජනය කරනවා. නායක චරිත් අසලංක සහ නුවනිඳු ප්‍රනාන්දු එම ක්‍රිඩකයන් දෙදෙනා වනවා. තරඟාවලියේ වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයින් දෙදෙනාම නියෝජනය කරන්නේ කමිඳු මෙන්ඩිස් නායකත්වය දරන කොළ කණ්ඩායමයි. චාමික කරුණාරත්න සහ නුවන් තුෂාර එම ක්‍රිඩකයින් දෙදෙනා වනවා. තරඟාවලියේ මෙතෙක් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ගෙන් වැඩි පිරිසක් මෙම කණ්ඩායම් දෙක සතුව වීම අද තරඟයේ උණුසුම වැඩි කිරීමට හේතුවක් වනු ඇති. SLC T-20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය www.talenttv.lk ඔස්සේ නැරඹීමට හැකි වනවා. මෙම තරඟය කොළඹ SSC ක්‍රීඩාංගණයට පැමිණ නොමිලේ නැරඹීමට ද පහසුකම් සලසා තිබෙනවා. තරඟාවලියේ නිල රේඩියෝව වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.
Published