රුසියාවේ ප්‍රධානතම නොවොරොසිස්ක් වරාය ඉලක්ක කරගනිමින් යුක්රේනය විසින් එල්ල කළ දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් රුසියානු නාවික හමුදා නෞකා 4 කට සහ ධාන්‍ය අපනයන පර්යන්ත දෙකකට දැඩි හානි සිදුව තිබෙනවා.
මෙම ප්‍රහාරවලින් වයස අවුරුදු 08 ක කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තවත් පුද්ගලයන් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි සඳහන් කර ඇත්තේ, මෙම විශේෂ ප්‍රහාරය සඳහා රොකට්, ජෙට් යානා සහ නාවික ඩ්‍රෝන යානා භාවිත කළ බවයි.
කෙසේවෙතත්, ප්‍රහාරයෙන් රුසියානු නාවික හමුදාවට අයත් ෆ්රිගේට් වර්ගයේ යුධ නෞකා දෙකක් ඇතුළුව යුද නෞකා 4 කට හානි සිදුව ඇති බව යුක්රේන හමුදාව පසුව තහවුරු කළ ද, රුසියානු බලධාරීන් මේ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.
රුසියාවේ ක්රිමියානු අර්ධද්වීපයේ පිහිටි සෙවැස්ටොපෝල් නාවික බිඳවුම වෙත යුක්රේනයෙන් එල්ල වූ ප්‍රහාර හමුවේ රුසියානු කළු මුහුදේ නාවික බලඇණියේ වැඩි ප්‍රමාණයක් මේ වන විට ස්ථානගත කර ඇත්තේ මෙම නොවොරොසිස්ක් වරායේයි.
මේ අතර, සිඑන්එන් නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති සෙලෙන්ස්කි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, රුසියානු බැලස්ටික් මිසයිල ප්‍රහාර සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීම සඳහා ඇමරිකාව සතු මිසයිල තොගයෙන් සියයට 10 ක ප්‍රමාණයක් යුක්රේනයට අත්‍යවශ්‍ය වන බවයි.




