මාවනැල්ල - රඹුක්කන මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් ත්‍රිරෝද රථ රියදුරා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිදුවූ එම අනතුර හේතුවෙන් වාහන ගමනාගමනය මාවනැල්ල - රඹුක්කන මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.
ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.
මේ අතර පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පසුගිය 22 වනදා සිදු වූ නායයෑම එම ස්ථානයට අවේනික අනතුරුදායක තත්ත්වයක් බවත් එය සමස්ත ප්‍රදේශයටම බලපාන අනතුරුදායක තත්ත්වයක් නොවන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එම සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂක ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ පිළිබඳව අනියත බියක් ඇති කර ගත යුතු නෙැමැති බවයි.
මේ අතර මහනුවර නගරය අවට විභාග මධ්‍යස්ථාන පිහිටා ඇති පහළ කඩුගන්නාව ප්‍රදේශය හරහා පැමිණීමට සිදුවන උසස් පෙළ සිසුන්ට එහි යාමට දැඩි අපහසුතාවයක් ඇත්නම් ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානයෙන් විභාගය ලිවීම සඳහා අවස්ථාව ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් මහතා පැවසුවා.
ඔහු කියා සිටියේ පෞද්ගලික වාහනවලින් විකල්ප මාර්ග භාවිත කර විභාග මධ්‍යස්ථාන වෙත යාමට නොහැකි සිසුන්ට සහ දුම්රිය මාර්ගය භාවිත කිරීමට අපහසුතා පවතින සිසුන්ට පමණක් එලෙස ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානය භාවිත කළ හැකි බවයි.
මේ අතර පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ගල පෙරළීමට ලක් වූ අදාළ ස්ථානය පිළිබඳ තාක්ෂණික වාර්තාවක් ලබාගෙන ඇති බවද කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවා.
එම වාර්තාවට අනුව අදාළ ස්ථානය තවමත් ඉතා අස්ථාවර මට්ටමක පවතින බවයි ඔහු කියා සිටියේ.
පහළට කඩා වැටුණු ගල් කොටස හා සමාන කොටසක් තවමත් ඉහළ කොටසේ පවතින බවත්, වර්ෂාවත් සමග එය මාර්ගය වෙත වැටීමේ අවදානමක් ඇති බවත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.
එම අවදානම පහව යනතුරු මාර්ගය විවෘත නොකරන බවයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර පවතින වැසි හමුවේ ඕනෑම ප්‍රදේශයක ආපදා තත්ත්වයක් සිදු වුවහොත් විභාග අපේක්ෂකයන් හට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.
ඒ අනුව එම මධ්‍යස්ථානයේ 117 හදිසි ඇමතුම් අංකය හෝ විභාග දෙපාර්තමේන්තුවේ 19 11 ක්ෂණික ඇමතුම් අංකයට ඒ පිළිබඳ දැනුම්දිය හැකි වනවා.




