ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකු ලෙසට පෙනී සිටි රූපවාහිනී සහ ගුවන් විදුලි අලුත්වැඩියා ශිල්පියෙකු දංඕවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දංඕවිට පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ඔහුට විරුද්ධව තිබූ බව කියන රථ වාහන නඩුවක් සම්බන්ධව සොයා බැලීම සඳහා සැකකරු දංඕවිට පොලිස් ස්ථානයේ රථවාහන අංශයට පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එහිදී ඔහු පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ තමන් මාවනැල්ල පොලිස් ස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා බවයි. ඒ අනුව එම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ සිටි නිලධාරීන් පිරිස ඔහුට ආචාර කර ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. පසුව සැකකරු ඉහළ පොලිස් නිලධාරීන්ගේ නම් පවසමින් ඔවුන් දන්නා හඳුනන බවටද ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම දියතලාවේදී පොලිස් විශේෂ කාර්ය බලකායෙන් තමන් පුහුණුව ලබා ඇති බවද ඔහු විසින් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වුණේ. එම ප්‍රකාශය සම්බන්ධයෙන් රථවාහන අංශයේ නිලධාරීන්ට සැකසිතී ඒ පිළිබඳ දංඕවිට පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා. සැකකරු ස්ථානාධිපතිවරයා හමුවට පැමිණවීමෙන් පසුව ස්ථානාධිපතිවරයා දුටු මොහු ස්ථානාධිපතිවරයාට චීෆ් යනුවෙන් ආමන්ත්‍රණය කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එහිදී සැකකරු සම්බන්ධයෙන් සැකසිතී පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කර තිබෙනවා. පොලිස් මාර්ග බාධකවලදීද සැකකරුට ඇතැම් පොලිස් නිලධාරීන් විසින් ආචාර කර ඇති බවටද අනාවරණ වී තිබෙනවා. පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිට ඇති සැකකරු ඇතැම් අවස්ථාවල දංඕවිට පොලිස් ස්ථානටය පැමිණ නිලධාරීන්ගේ අඩුපාඩුකම් සහ පොලිසියේ අඩුපාඩුකම් පෙන්වා දෙමින් ඔවුන්ට උපදෙස් පවා ලබා දී ඇති බවද වාර්තා වුණා. ඒ අනුව අනාවරණ වූ තවත් කරුණු මත දංඕවිට පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වේවැල්දෙණිය ඉහළගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48ක් වන එක්දරු පියෙක්.
Published