විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීම ඇතුළු සියලු අංශවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදි තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදීයි.

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය යළි සමාජගත වීම වළක්වමින් ඒවා නිසි නීතිමය තත්ත්වය යටතේ ඉක්මනින් විනාශ කිරීමේ සහ වරදකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා එහිදී අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

“රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු විෂ මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම් 80%කින් ඉහළ ගොස් ඇති බවයි ජනාධිපතිවරයා හමුවේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

එම වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් එක් ලක්‍ෂ 68,460 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.