කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු මාංචු දමා පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අනුබල දුන් බව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා ලබාදුන් නියෝගයකට අනුවයි.

කහවත්ත, පලන්සුරියගම, හල්ලිද ප්‍රදේශයේ පදිංචි ඉමන්ත සුරන්ජන නම් තරුණයා ඉකුත් 30 වනදා රාත්‍රී කහවත්ත, ඇන්දාන ප්‍රදේශයට රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර තිබුණා.

එම ඝාතනයට අදාළව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය විසින් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් ඊයේ දිනයේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී සැකකරුවන් දෙදෙනෙකු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් සෙසු සැකකරුවන් දෙදෙනා රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමටත් අධිකරණය නියෝග කළා.

එමෙන්ම රිමාන්ඩ් කළ සැකකරුවන් දෙදෙනා අද පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ.

ඒ අනුව අදාළ සැකකරුවන් දෙදෙනා පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළා.

එහිදී අධිකරණය නියෝග කළේ සැකකරුවන් ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.