කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙටි්‍රක් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබෙනවා.

ඒ, කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළඳපොළ තුළ නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරය විසින් කරන ලද කරුණු දැක්වීම පදනම් කරගනිමින්.

ඒ අනුව කීරි සම්බා සඳහා ආදේශක සහල් අතරින් මෙටි්‍රක් ටොන් 5,000 ක් රජයේ ආයතන මඟින්ද, සෙසු සහල් ප්‍රමාණය පෞද්ගලික අංශය මඟින්ද ආනයනය කිරීමට තීරණය වී තිබෙනවා.

එමෙන්ම දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 120ක මිලකට වී අලෙවි මණ්ඩලයෙන් හා සතොස ආයතනයෙන් මිලදී ගැනීමේ කාර්යය අඛණ්ඩව පවත්වාගෙන යාමටයි ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව තීරණය කර ඇත්තේ.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු ගබඩා කිරීමේ පහසුකම් ඇති කිරීම මෙන්ම, බියර් සහ සත්ව ආහාර නිෂ්පාදන සඳහා සහල් හෝ කැඩුණු සහල් හෝ විකල්ප අමුද්‍රව්‍ය ආනයනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

පාරිභෝගික අවශ්‍යතාවට අනුව බඩඉරිඟු නිෂ්පාදනය, ටින් මාළු, බිත්තර සහ මාංශ නිෂ්පාදනය සහ ලුණු ආනයන කටයුතු ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළ කරුණු අතරට අයත්.