ලෝකයේ මහද්වීප හතේ උසම කඳු මුදුන් 07 තරණය කළ ජොහාන් පීරිස්, සිය අවසන් කඳු මුඳුන වන උතුරු අමෙරිකාවේ ඇලස්කාහි පිහිටි ඩිනාලි කදු මුදුන ද තරණය කර අද අලුයම යළි දිවයිනට පැමිණයා.

දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

2014 වසරේ අප්‍රිකානු මහාද්වීපයේ කිලිමැන්ජාරෝ කන්ද තරණය කිරීමෙන් ජොහාන් පීරිස් ආරම්භ කළ ලොව මහද්වීප හතේ උසම කඳු තරණය, වසර 11කට පසුව උතුරු අමෙරිකාවේ ඩිනාලි කන්ද තරණය කිරීමෙන් නිමාවට පත් කිරීමට සමත් වුණා.

අප්‍රිකානු මහද්වීපයේ කිලිමැන්ජාරෝ, ආසියානු මහාද්වීපයේ එවරස්ට්, යුරෝපා මහාද්වීපයේ හා රුසියාවේ එල්බ්‍රෙස්, දකුණු අමෙරිකාවේ ඇකන්කගුවා, ඇන්ටාටිකා මහාද්වීපයේ වින්සන්ට්, ඕස්ටේ්‍රලියා මහාද්වීපයේ කොසිඔස්කෝ සහ උතුරු ඇමෙරිකාවේ ඩිනාලි යන කඳු තරණය කරමින් ශ්‍රී ලංකාවේ ධජය එම කදු මුඳුන් මත සවි කරමින් මෙරටට අභිමානය සහ කීර්තිය ගෙන ඒමට ජොහාන් පීරිස් මහතා සමත් වී තිබෙනවා.

කඳු තරණය කිරීම පිළිබද සිය අත්දැකීම් පාදක කර ගනිමින් ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට සහ ශ්‍රී ලංකාව ලෝක කඳු නගින්නන්ගේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට තමන් ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජොහාන් පීරිස් මහතා ප්‍රකාශ කර ඇත්තේ.