අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් සංවාද ඇතිවෙමින් පවතිනවා.

විනිසුරුවරුන්ගේ ධුර කාලය වැඩි කිරිම මගින් නඩු ප්‍රමාදය වැළැක්විය හැකිද යන්න සම්බන්ධයෙන්ද එහිදී ප්‍රශ්න කෙරෙනවා.

මේ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා.

"නඩු ගොඩගැහිලා තියෙනවා නම්, ඒ පිළිබඳව අජිත් මාන්නප්පෙරුම වාර්තාව තියෙනවා 2017. ආසියානු සංවර්ධන බැංකුවෙන් කරපු 2023 වාර්තාවක් තියෙනවා, නිර්දේශ තියෙනවා, ඒවා ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ඇප නීතිය පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් ඒ නීතිය වෙනස් කරලා, ඇප ලබාදීමේ කටයුතු කරන්න. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පොලීසියේ උවමනාව මත හෝ එසේ නැතුව හිරගෙවල්වලට ගාල් කිරීමේ ක්‍රියාවලිය වෙනුවට, ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක් ඇති කරන්න. ඒ වගේම, විශේෂයෙන්ම අධිකරණයට තවත් අවශ්‍ය නම්, අධිකරණ සේවයට, නීතිපති දෙපාර්තමේන්තුවට විනිසුරුතුමාලා තව වැඩි කරන්න. ඒක පහළ උසාවිවලින් වැඩි කරන්න. මෙතෙන්දි සරල උදාහරණයක් කිව්වොත්, ලෙඩ්ඩු 100ක් ඉන්නවා නම්, විශේෂඥ වෛද්‍යවරු 10යි නම් ඉන්නේ, තව ලෙඩ්ඩු 100ක් එනකොට විශේෂඥ වෛද්‍යවරුන්ගේ වයස වැඩි කරලා ලෙඩ්ඩු 200ක් පාලනය කරන්න පුළුවන්ද? බැහැ. මොකක්ද විසඳුම? විශේෂඥ වෛද්‍යවරු ගණන වැඩි කරන එක. මේක මේ පහේ පන්තියේ ළමයෙකුටත් තේරෙන ඇත්තක්."

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහසක් මේ.
"මම හිතන්නේ ඒ සංශෝධනය ගැන ඔබ අවංකවම ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවත් කියන්න දන්නේ නැහැ. මොකද ගරු විනිශ්චයකාරවරුන්ගේ වයස... විශ්‍රාම යන වයස දික් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි හේතුවක් ආණ්ඩුවට දෙන්න විදියකුත් නැහැ. නේද? දැන් අධිකරණයේ පවතින නඩුවල විභාග කිරීම කඩිනම් කරන්න ඕනේ නම්, ගරු විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීම තුළ ඒක වෙන්නේ නැහැ කියලා ඕන කෙනෙක් දන්නවනේ. එහෙමනම් දැනට තියෙන පුරප්පාඩු පුරවන්න ඕනේ. තව පැත්තකින් අලුතෙන් අධිකරණ පිහිටුවන්න ඕනේ. ඒ දෙක නොකර කාලය දික් කරා කියලා ඒකට විසඳුමක් ලැබෙනවා කියන එක නම් ඉතින් කිසිම කෙනෙක්ට විශ්වාස කරන්න බැහැ. ඉතින් මම හිතන්නේ ඒ සංශෝධනය ගේන්නේ ඇයි කියලා ආණ්ඩුව දන්නෙත් නැහැ. ජනාධිපතිවරයා දන්නවද කියන්න මම දන්නේ නැහැ."

එල්ල වෙන චෝදනාවලට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.

"අධිකරණ විනිසුරුවන්ගේ වයස වෙනස් කිරීම විසින්, අපි නීතිය අතට ගනීවිලු. අපි ආඥාදායක වේවිලු. ඒක මහා ඛේදවාචකයක් වෙනවලු. ඉතින් මහා ඛේදවාචකයක් වෙනවා නම් විපක්ෂයේ කට්ටිය සතුටු වෙන්න එපැයි. අධිකරණයේ විනිසුරුවන්ගේ වයස වෙනස් කරලා රටට කැලවෙනවා නම් විපක්ෂය සතුටු වෙන්න ඕනෙද, නැද්ද කියන්නකෝ? ඇයි, ඒකෙන් ඒගොල්ලන්ට බලය එනවනේ. ඒ විපක්ෂය දන්නවා ඔය කෑගහන ඔක්කෝටම නීතිය ක්‍රියාත්මක වෙනකොට හිරේ යන්න වෙනවා කියලා. අද වැඩියෙන්ම උද්ඝෝෂණය කරන්නේ හිරකාරයෝ. ඇයි ඒ? බලයට එන්න සඳහා ඒගොල්ලෝ දැන් පාවිච්චි කරනවා හිරකාරයන්ව. නැත්නම් මේ හිරගෙදරක හතර පස්දෙනෙක් වහලට නැග්ග ගමන්, නේද? ඥාති දෙමාපියෝ හරියට අල්ලපු ගෙදර පදිංචි වෙලා හිටියා වගේ. ඔක්කොම ඇවිල්ලා."

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් පළ කරන්නේ මෙවන් අදහසක්.

"මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනම පරිච්ඡේදයක සඳහන් කරලා තියෙනවා. ඒ පරිච්ඡේදයේ 107 වෙනි ව්‍යවස්ථාවෙන් පටන් අරගෙන බොහෝ කාරණා, ඒ කියන්නේ අධිකරණවල ස්වාධීනත්වය රැකීම සඳහා තිබිය යුතු ඉතා බරපතල කොන්දේසි ගණනාවක් පනවල තියෙනවා. 107 වෙනි ව්‍යවස්ථාවේ තිබෙන විශ්‍රාම යෑමේ වයස පිළිබඳ කාරණයත් අධිකරණයේ ස්වාධීනත්වය යටතට වැටෙන කාරණයක්. ඒ නිසා කරුණු නොදන්නා ආණ්ඩුවේ ඇමතිවරු 107 සංශෝධනය කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕන නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ශීර්ෂය සහිත පරිච්ඡේදය කියවන්න. එච්චරයි."