ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අද දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙසට හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට දැනුම්දී තිබෙනවා.

ඒ, ඔහු 2023 වසරේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ සිදු වූ සිද්ධියකට අදාලවයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායල් රාජ්‍ය අතර ඇති කරගත් කෘෂිකාර්මික අංශයේ රැකියා වැඩසටහන යටතේ 2023 නොවැම්බර් 05 වන දින අත්සන් කර ඇති ගිවිසුම අනුව මෙරට ශ්‍රමිකයින් ඊශ්‍රායාල් රාජ්‍ය වෙත යැවීම සම්බන්ධයෙන් එලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි.

අදාල ප්‍රකාශය ලබාදීම සඳහා ඔහුට පසුගිය 08 වනදා එම කොමිෂන් සභාව වෙත කැඳවීම් කළ නමුත් ඔහු විදේශ ගතවී සිටීම හේතුවෙන් ප්‍රකාශය ලබාදීම සදහා පැමිණීමට අපොහොසත් වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ පෙරවරු 09.30ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සභාව වෙත පැමිණෙන ලෙසට හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙත දැනුම්දී තිබෙනවා.