නේපාලයට සහ ටිබෙට් කලාපයට දැඩි බලපෑම් එල්ල කරමින් ඇතිවූ ගංවතුර සහ නායයෑම් සම්බන්ධ දර්ශන වාරණය කිරීමට චීන බලධාරීන් පියවර ගෙන ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

ගියිරොන්ග් දේශසීමා පරිශ්‍රය වෙත පැමිණි මඩ සහිත ජල පහරකින් බේරීම සඳහා ජනතාව දිවයන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන චීන සමාජ මාධ්‍ය හා මාධ්‍ය ජාලවලින් ඉවත් කිරීමට බීජිං පාලනය කටයුතු කර ඇතැයි එම වාර්තාවල දැක්වේ.

එම වීඩියෝ දර්ශන වෙනුවට චීන රාජ්‍ය මාධ්‍යයන්හි පළකර තිබුණේ ඉන් ලබාගත් ඡායාරූපයක් පමණි. ආපදාවෙන් සිදුවූ විනාශයේ සැබෑ තරම පිළිබඳව තොරතුරු සඟවමින්, සහන සේවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පමණක් වැඩි අවධානයක් යොමු කිරීමට රාජ්‍ය මාධ්‍ය කටයුතු කිරීම නිසා, චීන ජනතාවට තොරතුරු ලබාගැනීමට සිදුව ඇත්තේ රාජ්‍ය මාධ්‍ය වාර්තා මත පමණක් පදනම් වෙමිනි.

සෙනසුරාදා වන විට චීන දේශසීමා ප්‍රදේශයෙන් පුද්ගලයන් 554 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර, පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති බව රාජ්‍ය මාධ්‍ය තහවුරු කළේය. කෙසේ වෙතත්, නේපාලය තුළ පුද්ගලයන් 620 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර, තවත් දහස් සංඛ්‍යාත පිරිසක් අතුරුදහන්ව සිටිති. නේපාල බලධාරීන් විසින් අතුරුදහන් වූවන්ගේ ලැයිස්තු ප්‍රකාශයට පත්කර ඇති අතර, ඊට විදේශිකයන්ද ඇතුළත් වේ.

ටිබෙට් කලාපයට ගමන් කිරීමට හෝ එහි වෙසෙන ජනතාවගෙන් දුරකථන මාර්ගයෙන් තොරතුරු විමසීමට විදේශීය මාධ්‍යවේදීන්ට දැඩි බාධා පැනවීම හේතුවෙන්, චීන සීමාව තුළ සිදුවූ විනාශයේ සැබෑ තත්ත්වය ස්වාධීනව තක්සේරු කිරීම දුෂ්කර වී ඇත.

චීනයේ මෙම විනිවිදභාවයෙන් තොර ක්‍රියාකලාපය ප්‍රශ්න කරන නේපාල පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී රාජේන්ද්‍ර බජ්ගායින් , චීනය සිය කලාපය තුළ සැඟවීමට උත්සාහ කරන්නේ කුමක්දැයි විමසා සිටියි.

"අතුරුදන් වූ නේපාල ජාතිකයන් සෙවීමට, සිදුවූයේ කුමක්දැයි සෙවීමට මෙන්ම ග්ලැසියර පිළිබඳව නිරීක්ෂණය කිරීමට නේපාල සහන කණ්ඩායම්වලට අවස්ථාව ලබාදෙමින් චීනය සිය දේශසීමා විවෘත කළ යුතුයි," යනුවෙන් ඔහු The Telegraph පුවත්පතට අදහස් දක්වමින් පැවසීය.